අධිකරණයට අපහාස කිරීමේ වරදට, ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අවුරුදු 19ක සිරදඬුවම් පමුණුවමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික එකක් වනවාක් මෙන්ම, ලංකාවේ යුක්තිගරුක නීතිගරුක ජනතාව මහත් බලාපොරොත්තුවෙන් සිටි දෙයක්ද වෙයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මේ සා දිගු සිරදඬුවමක් නියම වීම, එය භික්‍ෂුවකට නියම වීම වැනි හේතු නිසා එය ඓතිහාසික තීන්දුවක් වෙයි.

මේ රටේ යුක්තිගරුක ජනතාව මේ තීන්දුව ප‍්‍රශංසාත්මකව පිළිගන්නේ, චීවරයක් දරාගත් පමණින් එහි ඇති සිවිල් බලය ආරෝපණය කරගෙන, එහෙත් දුර්දාන්ත වෘෂභයන් රැලක් ලෙස හිතුමතේ නීතිය අතට ගෙන සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුනට හානිකර ලෙස කටයුතු කළ, කටයුතු කරන ඊනියා භික්‍ෂූන්ට මෙයින් වැදගත් පාඩමක් කියා දෙන නිසාය. එනම්, හැමෝම නීතියට යටත්ය යන්නය.

මේ තීන්දුව දී ඇත්තේ ආණ්ඩුවෙන් නොවේ. අධිකරණයෙනි. රටේ ඉහළම අධිකරණ දෙකෙන් එකක් වන අභියාචනාධිකරණයේ සභාපතිවරයාද ඇතුළත් විනිශ්චයාසනයක් විසිනි. නඩුවේ පැමිණිල්ල කළේ අධිකරණ සේවයේම නිලධාරියකු වන මහේස්ත‍්‍රාත්වරයෙකි. නඩුවේ ප‍්‍රධාන සාක්‍ෂිකරුවන් වූයේ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයකු හා ප‍්‍රකට නීතිඥවරයකුය. ඒ නිසා මේ තීන්දුව අංශුමාත‍්‍රයකින්වත් පක්‍ෂපාතීයැයි කියන්නට සිහිබුද්ධිය ඇති කිසිවකුට හැකියාවක් නැත. මහින්ද රාජපක්‍ෂ කාලයේ පාලකයන්ගේ වුවමනා එපාකම් අනුව පවත්වාගෙන ගිය කැලෑ උසාවි පද්ධතිය වෙනුවට කවර අඩුපාඩුකම් මැද වුණත්, දැන් පවතින්නේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලගන්වන ලද ස්වාධීන අධිකරණ පද්ධතියකි. එනිසා, මේ තීන්දුවට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැත. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන තීන්දුව දුන් වහාම කීවේ, භික්‍ෂූන් හිරේදැමීම මේ ආණ්ඩුවට අලූත් දෙයක් නොවන නිසා, මේ තීන්දුවද එහි ප‍්‍රතිඵලයක් බවයි. තමන්ගේ බල වුවමනාවන් සඳහා සියලූ දෙනාම හොඳින් දන්නා දේවල් පවා මේ සා විකෘති කරන බංකොලොත් දේශපාලකයන් සඳහා හොඳ උදාහරණයක් නොවේද, මහින්ද යාපා අබේවර්ධන.

දැනටමත් ඥානසාර හිමියන්ගේ පාර්ශ්වයෙන් තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන බව දැනුම් දී තිබේ. ඒ අභියාචනය අවසන් වන තුරු ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීමට වරදකරුවෙකි. තීන්දුව දෙන්නට පෙර දා රෝහලට ඇතුළුවී සුළු ශල්‍යකර්මයකට (ඔහුට ඇත්තේ වකුගඩුවක ගලක් තිබීමේ ඉතා සාමාන්‍ය රෝගී තත්ත්වයකි.) භාජනය වීමට නියමිතව සිටියත්, දැන් ඔහුට හිමි තැන බන්ධනාගාරයයි. බන්ධනාගාරගත වන සියලූ දෙනාම භේදයකින් තොරව හැඳිය යුතු ජම්පරය ඔහු එහිදී ඇඳිය යුතුය.

භික්‍ෂුවකට ජම්පරය ඇඳීමට සිදුවීම අවාසනාවකි. ඒ අවාසනාව ඔහු කැන්දාගත්තේ මානසික හා කායික අසමබරතාවක් පවත්වාගනිමින් මැරයකු ලෙස සමාජයේ හැසිරීම හරහාය. ඔහු වෙනුවෙන් දැන් සටන්පාඨ දොඩවන ඔහුගේ සගයන් වන අනෙක් චීවරධාරීන්ද, මේ චීවරධාරීන් අයත්වන නිකායවල ඉහළ නායකකාරකාදින්ද ඥානසාර හිමිගේ මේ අපකීර්තිමත් චර්යාව වළක්වන්නට, එදා සිටම අවවාද අනුශාසනා දීමෙන් හා අවශ්‍ය නම් ශාසනික දඬුවම් පැමිණවීමෙන් මැදිහත් වුණා නම්, අද ඥානසාර හිමියන්ට හිරබත් කන්නටවත්, ජම්පරය අඳින්නටවත් සිදුවන්නේ නැත. ඉවක් බවක් නැතිව ගාල කඩාගෙන යන මහීෂ රැළක් ලෙස පසුගිය කාලයේ හැසිරුණු ඥානසාර භික්‍ෂුවගේ සගයන් වන රාජපක්‍ෂ නිකායේ චීවරධාරීන් රොත්තද, අද ඥානසාර හිමියන්ට තනියෙන් හිරබත් කන්නට සිදුවි තිබෙන්නේ තමන්ගේද දායකත්වය නිසා බව තේරුම් ගත යුතුය.

ඥානසාර හිමියන් හිරේ ගියේ රණවිරුවන් වෙනුවෙන් කතාකළ නිසායැයි කියන ව්‍යාජ ප‍්‍රවාදය යළිත් හෙටානිද්දා මේ විසම බලවේගයන් විසින් සමාජගත කරන්නට තැත්දරනු ඇත. ඔහුට හිරබත් කන්නට සිදුවුණේ, ඊනියා රණවිරුවන් පිරිසක් වෙනුවෙන් පෙනීසිටීම නිසා නොවේ. හෝමාගම අධිකරණය ඉදිරියේ විත්තිකරුවන්ව සිටින්නේ පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට හෙවත් ඝාතනය කිරීමට චෝදනා ලබා ඇති අපරාධ චුදිතයන් පිරිසකි. අධිකරණය ඔවුන් වරදකරුවන් කළොත්, ඔවුහු අපරාධකාරයෝය. එවැනි අපරාධකරුවෝ රණවිරුවෝ නොවෙති. අනෙක් අතට කිසිවකු වෙනුවෙන් පෙනීහිටින්නට ඥානසාර හිමි නීතිඥයෙක්ද? අඩුගණනේ උසාවියේ තෝල්කයෙක්ද? ඒ කිසිම තත්ත්වයක් නැතිව, උසාවියට කඩා පැන මහේස්ත‍්‍රාත්වරයාගේ අණට පිටුපාමින් අධිකරණයට හා රජයේ නීතිඥයාට අපහාස කරමින් අවිනීතව හැසිරුණු පුද්ගලයකුට දිය යුතු දඬුවම මීට වඩා අන් කුමක්ද? මීට පෙර, හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්ම මාස හයක සිරදඬුවමක් ඥානසාර හිමියන්ට ලැබුණේද මේ වන-චර හැසිරීම නිසාය.

ඥානසාර හිමියන්ගේ තීන්දුව දුන් දා උසාවියට හා රෝහලට ආ ඔහුගේ අනෙක් අපකීර්තිමත් චීවරධාරී සගයෝ මේ ආණ්ඩුවේ සංඝ දඩයමක් ගැනත්, ඊට එරෙහිව ගොඩනැගිය යුතු සංඝ බලයක් ගැනත් කටමැත දෙඩවූහ. ඉන් එක් භික්‍ෂුවක්, විමල් වීරවංශ ඇමතිවරයකු හැටියට සිටියදී එම අමාත්‍යාංශය විසින්, බදු ගෙවන මහජනතාවගේ වියදමෙන් ලබාදුන් ඉන්ධන සහිත සුඛෝපභෝගී වාහනයකින් රට පුරා සැරිසරමින්, සිංහල දෙමළ මුස්ලිම් සහෝදරත්වය පළුදු කරමින් රට ගිනි තියමින් හැසිරුණෙකි. අනෙක් භික්‍ෂුව, තමන්ගේ බාහුවේ කොටා ඇති පච්චයක් නිසා චීවරයවත් නිසි ලෙස උරෙන් පහළට දමන්නට නොහැකි අයෙකි. මේ පුද්ගලයන් සමග ගොඩනැගිය හැකි සංඝ බලය කුමක්ද? කළ යුත්තේ, මොවුන්ගෙන් තවදුරටත් සංඝ සාසනයේ කීර්තිය කෙළෙසන්නට ඉඩ නොතබා, ඔවුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන සංඝ සාසනය පිරිසිදු කර ගැනීමයි.

මේ පිරිසම ඊළඟට උත්සාහ කරන බව පෙනෙන්නේ ජනාධිපතිවරයා ලවා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීමටයි. මේ චීවරයේ පීඩනය ජනාධිපතිවරයා කෙසේ දරාගන්නවාදැයි දැන්ම කිව නොහැකි නමුත්, අධිකරණයට අපහාස කළැයි අධිකරණය විසින්ම වරදකරු කර සිරගෙට නියම කළ අයකුට ජනාධිපති සමාව දීම වූකලි මුළු අධිකරණ පද්ධතියටම යළි නිග‍්‍රහකිරීමක් වන බව දැන්ම ලියා තැබිය යුතුය.

ඒත් එක්කම, පසුගිය කාලය පුරා දෙමළ මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව විවිධාකාර ප‍්‍රහාර එල්ල කරමින්, 2014 ජුනියේදී අලූත්ගම මුස්ලිම් ජනතාවට එරෙහි ප‍්‍රහාරය ඇවිලූ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් දීම වූකලි ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයේ අංක එකේ තිබෙන සංහිඳියාවටද කරන නිගාවකි. අධිකරණයේ ස්වාධීනත්වය, සුපිළිපන්භාවය ගැන 2015 දී පොරොන්දු දී ජනාධිපති ධුරයට පත්වුණු ජනාධිපතිතුමා ඒ ජනවරම මෙවැනි අපකීර්තිමත් පුද්ගලයන්ට සමාව ප‍්‍රදානය කිරීමෙන් කිලිටි කර නොගන්නා බව අපට විශ්වාසය.

අප අදිකරණයට ප‍්‍රශංසා කළ යුත්තේ මේ පසුබිමේය. චීවරය, කිසිවකුට අත නොතැබිය හැකි අමුතුම දෙයක් බවට පත් කර, ඒ චීවරධාරීන් සුළුතරයක් විසින් රටේ නීතිය අතට ගෙන හිතුමතේ හැසිරෙද්දී රටේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මැතිඇමතිවරුන් ඇතුළු සියලූ දෙනාත් සිටියේ ඔවුන් කරන හැම නොපනත්කමක්ම ඉවසනසුලූ නියායෙනි. නැතහොත්, හංගාගත් විරෝධයක් ඇතිවය. තමන්ගේ ඡුන්ද පදනමට හානියක් විය හැකියැ’යි සිතා ජනාධිපතිවරයාගේ සිට බොහෝ දේශපාලකයෝ ඒ ගැන කිසිදු විවේචනයක් නොකළහ. හැකි නම් ඔවුන් සමග කුළුපග වන්නේ කෙසේදැයි රහසිගතව සොයාබැලූහ. ඉඳහිට මංගල සමරවීර, රාජිත සේනාරත්න වැනි ඍජු දේශපාලනඥයකු හැරෙන්නට අන් සියල්ලන්ම සිටියේ මේ නොපනත්කම් විවේචනය කළහොත් තමන්ට ඡුන්ද නැතිවේයැ’යි බියෙන් මුළුගැන්වීය.

සමාජයෙන් එන මෙවැනි මහජන පීඩනයන්ට නතු නොවන එකම ආයතනය අධිකරණයයි. දේශපාලන වේවා, ආගමික වේවා, සංස්කෘතික වේවා සමාජයෙන් එන  ඕනෑම පීඩනයක්, බලපෑමක් දරාගෙන, නීතියේ ආධිපත්‍යයත්, අධිකරණයේ විශ්වාසය හා ස්වාධීනත්වයත් ආරක්‍ෂා කරගෙන කටයුතු කළ හැක්කේ ඒ අධිකරණයේම නිලධාරීන්ට හෙවත් විනිසුරුවරුන්ටය. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ රීති තිබෙන්නේ, ඒ අපක්‍ෂපාතීභාවය හා කීර්තිය අධිකරණය වෙනුවෙන් රැක දෙන්නටය.

ඥානසාර හිමියන්ට අවුරුදු 19ක සිරදඬුවම් නියම කිරීමෙන් අභියාචනාධිකරණය. තමන්ගේ සුපිළිපන්භාවයත්, කීර්තියත්, අපක්‍ෂපාතීභාවයත් යළිත් තහවුරුකොට තිබේ.

ව්‍යවස්ථාදායකය හා විධායකය සිය කීර්තිය තමන් විසින්ම විනාශ කරගනිද්දී යුක්තිගරුක ජනතාවට අන්තිමට යන්නට ඇත්තේ අධිකරණය වෙත පමණකි. එනිසා, ඒ දුක්ගැනවිල්ල අසන්නට සුදුසු පරිසරයක් අධිකරණයේ තිබිය යුතුය.

අද අභියචනාධිකරණය ඒ කීර්තිය රැුකගෙන තිබේ. මනුවර්ණ ඇතුළු යුක්තිගරුක ජනතාව, ඉතසිතින් මේ තීන්දුව පිළිගන්නේත්, අධිකරණයට ප‍්‍රශංසා කරන්නේත් ඒ නිසාය.