පසුගිය අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, රටේ නීතිගරුක ශිෂ්ටසම්පන්න ජනතාවගේ නොනිමි ගෞරවයට පාත‍්‍ර වන බව පළමුවෙන් ලියා තබමු.

ඔක්තෝබර් 26 වැනිදායින් පටන් ගෙන, පසු ගිය දින කිහිපයක් තිස්සේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නමැති තනි පුද්ගලයකු විසින් රට තුළ මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ඇති කරමින් තිබුණු නින්දාසහගත දේශපාලන අර්බුදය තුළ මහත් වික්‍ෂිප්තභාවයටත් වික්‍ෂෝභයටත් පත් ව සිටි ඒ ජනතාවට, කිසියම් ප‍්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය තාවකාලික ව නමුත්, දුන් ඒ ඓතිහාසික වාරණ නියෝගය නිසා ය. එදා සවස මුළු රට ම එක එල්ලේ අධිකරණය දෙස බලා සිටියේ, යුක්තිය සහතික කරවන සාධාරණ තීන්දුවක් ලැබේ ය යන බලාපොරොත්තුවෙනි. එය ඉටු විය. අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන හා ප‍්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් කිසිදු විචිකිච්ඡුාවක් නොමැති ව හෙවත් ඒකමතික ව ගත් ඒ තීන්දුව නිසා, ඔවුන් තිදෙනාගේ නම්, ලංකා අධිකරණ ඉතිහාසයේ නැවත නැවතත් ගෞරව බහුමානයෙන් යුක්ත ව ස්මරණය කෙරෙන බව අතිශයෝක්තියෙන් තොර ව ලියා තැබිය යුතු ය.

බලතල බෙදීමේ න්‍යාය අනුව, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුනක් මගින් රටක් පාලනය කළ යුතු බවත්, ඒ එක් එක් ආයතනයකට අනෙක් ආයතනයක බලපෑමෙන් තොර ව කටයුතු කිරීමේ බලය තිබිය යුතු බවත් කියැවේ. එක් ආයතනයක් ඒ බලය අබිබවා යන්නට සූදානම් වන විට, අනෙක් ආයතනයක් මැදිහත් වී එම බල අතික‍්‍රමණය වැළැක්වීම සිදු විය යුතු ය.

එහෙත්, ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය ස්ථාපිත කර තිබෙන අන්දමට, තවමත් ජනාධිපතිවරයා සිටින්නේ අනෙක් ආයතන දෙක පොඩිපට්ටම් වන පරිදි ක‍්‍රියාත්මක විය හැකි ආකාරයෙනි. 19 වැනි සංශෝධනයෙන් පවා එම ධුරයේ විසකුරු දළ සම්පූර්ණයෙන් ම කඩා දමන්නට අපට නොහැකි වී තිබේ. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා වැනි නීතිය නොතකන, ව්‍යවස්ථාව දැන දැන ම උල්ලංඝනය කරන, තම පෞද්ගලික වුවමනාවන්ට අනුව නීතිය ¥ෂණය කරන, මුග්ධ ජනාධිපතිවරයකු සිටින විට මේ විනාශය සිය දහස් ගුණයකින් වැඩි වන බව ඔක්තෝබර් 26 වැනි දා සිට මේ වන තෙක් ගත වූ දින කිහිපය විසින් අපට පැහැදිලි ව පෙන්වා දී තිබේ.

විධායක ජනාධිපතිවරයා ඒ සා විනාශයක් රටට කරද්දී, එය වළක්වා ගන්නට පාර්ලිමේන්තුව ද අසමත් වන කල, නැතිනම් පාර්ලිමේන්තුව තුළින් ම ඒ විනාශයට අනුමැතියක් ද ලැබෙන තත්ත්වයක් යටතේ, යුක්තිගරුක මහජනතාවට ඇත්තේ එක ම එක තෝරා ගැනීමක් පමණි. එනම්, අධිකරණය ඉදිරියට ගොස් තමන්ට වන අසාධාරණය කියා පෑමයි. යම් හෙයකින්, අධිකරණය ද, ජනාධිපතිවරයාගේ බලපෑමෙන් හෝ සිය කැමැත්තෙන් හෝ ජනාධිපතිවරයා වෙත ම නැඹුරු ව සිටියේ නම්, ජනාධිපතිවරයා සමග එකට සිට ගැනීමෙන් තමන්ට ලැබිය හැකි විවිධාකාර ප‍්‍රයෝජන හා වරදාන ගැන දෙවරක් සැලකුවේ නම්, මහජනතාවට වූ අසාධාරණය වෙනුවෙන් යුක්ති සහගත තීන්දුවක් ගන්නට ඔවුන්ට නොහැකි වනවා ඇත.

එහෙත්, ගෙවුණු අඟහරුවාදා අධිකරණය තමන් වෙත ඇති මහජන විශ්වාසය තහවුරු කර ගත්තේ ය. එය අසීරු තීරණයකි. රටේ විධායක ජනාධිපතිවරයා ගත් තීන්දුවක් ආපස්සට හැරවීමේ තීන්දුවකි.

තමන්ට මහජනතාවගෙන් පරමාධිපත්‍ය බලයේ කොටසක් ලැබී තිබෙන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුළු, රටේ නීතියේ පාලනය සහතික කිරීමට පමණක් බවටත්, එයින් ඇතිවන දේශපාලන ආනුෂංගයන් ගැන නොසලකා එය කළ යුතු බවටත් අධිකරණය සිතන බව, මෙම පෙත්සම් විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වෙයි. එය ප‍්‍රශංසාර්හ ය.

අධිකරණය කාගේවත් ඡුන්දයෙන් පත් වන්නේ නොවේ. ඒ නිසා, එය ඡුන්දයෙන් පත් වන අන් අයට වග කිව යුතු ද නොවේ. එය වග කිව යුත්තේ, තමන්ගේ බල උල්පත වන ජනතාවට ය. අඟහරුවාදා කළාක් මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය මින් ඉදිරියටත්, ඒ වගකීම තුළ කටයුතු කරනු ඇතැ’යි අපි විශ්වාසවන්ත ව බලා සිටිමු.