වසර දෙකයි මාස අටක කාලයක සිට අතුරුදන්ව සිටින රංගන ශිල්පී උපාලි කීර්තිසේනගේ මව සහ සොයුරිය ඔහු නැවත එනතුරු සුසුම්ලමින් බලාසිටී. කලා ලෝකයේ හිවත්තුන්ද ඔහු නැති පාඩුව නිහඬව අත්විඳීමින් සිටිති. එදා එකට සිටි ඇතැමෙකුට ඔහු ගැන අවසන් මතකයක් වත් නැති සෙයකි. සර්ව පිත්තල අළවා මැටි ගොඩවල් රූපවාහිනී තිරමත නටවා පේ‍්‍රක්ෂකයන්ගේ දෑස් මත තරු මවන නාලිකාවලටද ඔහු ගැන මතකය අවදිකරන්නට තරම්වත් කාලයක් නැත.

2016 වසරේ ජනවාරි 10 දින අතුරුදන්ව ගිය උපාලි කර්තීසේන අතුරුදන්ව සිටින්නේ ඇයි? ඔහු රහසිගතව මරාදැමුවේද? ඒ කෙසේද? දැනට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ යැයි පවසන බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අදාළ පරීක්ෂණ පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයෙන් විමසූ කල, ඔවුන් එයට පිළිතුරු නොදෙයි. හේතුව කුමක්ද? මේ සියලූ ප‍්‍රශ්න නොපුරවන ලද හරස්පද පේ‍්‍රහෙලිකාවක් ය.

තමන් සහ මව රැුකබලාගත් අතරුදහන්වූ සොයුරා සොයා දෙන්නැයි පොලීසි ගානේ රස්තියාදු වෙමින් දේශපාලකයන්ට ලිපි ලියමින් සිටි උපාලිගේ සොහොයුරියට රංගන ශිල්පිනී කුමදුනී අධිකාරී 2017 නොවැම්බර් 12 දින දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසන්නේ උපාලිගේ රුවට සමාන පුද්ගලයෙකු සිහි විකලෙන් සිරිපාදය ආසන්නයේ කඩ පිලක හිඟා කමින් සිටින බවයි. එසැනින් තම සහොදරයා සොයා ගිය උපාලිගේ සොයුරිය දින තුනක් රස්තියාදු වී නැවත පැමිණෙන්නේ ඔහු වෙනත් පුද්ගලයෙකු වන නිසාය.

උපාලි කීර්තිසේන අවසන් වරට රැුදී සිටි ජාඇල ප‍්‍රදේශයේ ඔහුගේ අතුරුදන් වීමෙන් දින කීපයකට පසු හමුවූ විකෘතිවී ගිය නාඳුනන මළ සිරු‍රේ ඞී.එන්.ඒ සාම්පල, 2017/8/8 දින උපාලිගේ මළ සිරුරද යන්න හදුනා ගැනීමට ජින්ටෙක් අයතනය වෙත යොමු කර ඇති බව මීට පෙර අපි ඔබට අනාවරණය කළෙමු. මේ වන විට එම පරීක්ෂණ නිමාකොට ජින්ටෙක් ආයතනය විසින් අවසන් වාර්තා සකස් කරමින් සිටින්නේය.

උපාලි කිර්තිසේන යනු රංගන ශිල්පියෙකු වශයෙන් වේදිකාව රූපවාහිනිය හා සිනමාව යන ක්ෂේත‍්‍ර තුනම ජයගත් අයෙකි. රංගන ක්ෂේත‍්‍රයේ අන් අයටද ඔහු ගැන තිබෙන්නේ සුපහන් හැඟීමක්ය.

කෙසේවෙතත් උපාලිගේ මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශණ පැවැත්වීමේදී පොලීසිය ඊට සම්බන්ධ සිදුවීම් හා පරස්පර ප‍්‍රකාශ නොසකා හරිමින් මන්දගාමීයව කටයුතු කලේ මන්ද යන්න අපහැදිලිය.

පසුගියදා උපාලි කීර්ති සේනගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අප පලකළ ලිපියෙන් පසු කලා ලෝකයේ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් සමග අපි කතා කළෙමු. පහත පලවන්නේ උපාලිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන් පල කළ අදහස්ය.

නිහඬව සිටීම ගැටලූවක්

චන්ද්‍රරත්න මාපිටිගම

ඔහු අහිංසකයෙක් වැඩට ආවම කිසිම වදයක් දෙන්නේ නැතිව තවමන්ගේ වගකීම හරියට කරන්න පුරුදුවුණ කලාකරුවෙක්. ඔහු අවසන් වතාවට මගේ නාට්‍යයක් රඟපෑවා. ඒක තාම විකාශනය වුණෙත් නැහැ. වේදිකාව, රූපවාහීනිය, සිනමාව මේ ක්‍ෂේත‍්‍ර තුනේදීම ඔහු සිය කාර්ය හරියටම කළා. කලා ක්‍ෂේත‍්‍රයටත් අපිටත් සමුදිලා ඔහු අතුරුදන් වෙලා. කොහොමද එහෙම වුණේ. කාටවත් වරදක් නොකරපු කලාකාරයෙකුට කොහොමද එහෙම වුණේ කියන එක හොයන්න ඕනේ. අවසානයේදී මේ අතුරුදන් වීම ගැන කිසිදු තොරතුරක් හොයාගන්න බැරිවුණේ ඇයි කියන එක විශාල ගැටලූවක්. ඒවගේ මිනිහෙකු අතුරුදන් වීම ගැන එච්චර නිහඬව ඉන්න පුලූවන් කියන ඒකයි ගැටලූව. මම හිතන්නේ උපාලිගේ අතුරුදන් වීම ගැන දැන්වත් කලාකරුවන් හඬ අවදි කළයුතුයි. එමඟින් පමණයි අපිට ඔහුව හොයා ගන්න පුළුවන්.

මේ ප‍්‍රශ්නවලට පිළිතුරු ඕනී
ශී‍්‍රයන්ත මෙන්ඩිස්
ඔහු නැති වේදනාව කලා ලෝකයට මුලින් දැණුනත් පසුව එය මග හැරුනා. අපි මේ ගැන මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අපේ මිත‍්‍රයාගේ අතුරුදන් වීම ගැන නීතිමය වශයෙන් මොනවාද වෙන්න කියන එක ගැන මට අවබෝධයක් නැහැ. නමුත් ඒ ගැන පරීක්‍ෂණ කරන නිලධාරීන් ගැන විශ්වාසය බිඳ ගන්නේ නැතිව උපාලිව සොයා දෙන්න කියා අපි ඔවුන්ට බල කළ යුතුයි. ඔහු අපිට ඕනේ. ඕනම ක්‍ෂේත‍්‍රයක මිනිහෙක් නැති වුණහම ඒ අඩුව පුරවන්න වෙන කෙනෙක් එන්නේ නැහැ. කලා ලෝකයට උපාලිගේ අඩුව දැනෙන්නෙත් එහෙමයි. ඔහු මිය ගියාද?, ඒ කොහොමද? ඒකට හේතුව කුමක්ද? නැතිනම් ඔහු අතුරුදන්ව සිටිනවා නම් ඒ කොහෙද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි.

අතුරුදන් කිරීමට විරුද්ධ වන්න
ජයලාල් රෝහණ
කලාවට සම්බන්ධ කෙනෙක්ම විය යුතු නැහැ. අපි ජීවත්වෙන පරිසරයේ, සමාජයේ වෙනත් කවුරු හරී පුද්ගලයෙක් උනත් අතුරුදන් වුණානම් ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නැතිනම් අවසානයේ අපිත් ඒ ඉරණමටම ගොදුරු වෙයි. අවසානයේදී අපිත් ඒ විදිහටම මැරිලා යයි. මම මේ ගැන පුද්ගලිකව සොයා බැලූවා. තොරතුරු ගැඹුරටම හොයා ගන්න බැරි වුණත්, උපාලිගේ අතුරුදන් වීම පිටිපස්සේ යම්කිසි පුද්ගලික කාරණයක් තියෙනවද කියලා හිතෙනවා. එත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තමන් ළඟ හිටපු මිනිහෙක් අතුරුදන් වුණාම නිහඬව ඉන්න. මේ සොඳුරු මිනිසා මම කාලයක් ඉතා ළඟින් ඇසුරු කළා. පසු කළෙක වැඩ නිසාම යම් තරමකට අපි දුරස් වුණා. කොහොම වුණත් මේ අතුරුදන් වීම ගැන සෙවීම පොලිසියේ වගකීමක්. ඔහුට මොකද වුණේ කියන එක දැනගන්න අවශ්‍යයි. යම් පොලිසියක් කියනවා නම් අතුරුදන් වුණ නළුවෙක්ව හොයනවට වඩා අපිට වෙන ලොකු වැඩ තියෙනවා කියලා, සාමාන්‍ය මිනිසුන්වන අපිට ඉන් එහාට සීමාව ඉක්මවා යන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්. අද ලෝකයේ මිනිස්සු අත්මාර්ථකාමී වෙලා. ඒකට ඉන්නකන් කතාකරයි හිනාවෙයි, රණ්ඩු කරයි. ගියාට පස්සේ ඒ සම්බන්ධකම් ඉවරයි. අපි එහෙම නොවිය යුතුයි. මේ අතුරුදන් වීමත් කාටහරි විකුණගන්න පුළුවන් වුණානම් අන්න ඒක ගැන හොයයි. පොලිසියට මේක හොයන්න කියලා බලපෑම් කරයි. කොහොම වුණත් උපාලි වටින්නේ කලා ලෝකයට.

උපාලි සොයා දෙන්න පොලිසියට බලපෑම් කරමු
රෝජර් සෙනෙවිරත්න
උපාලිව මැරුවානම් ඒ කවුද, මිනීමරුවා කොහොද, බෝඩි එකට මොකද වුණේ. අතුරුදන් වුණානම් ඔහු කොහේද ඉන්නේ, හැංගීලා ඉන්නවනම් ඒකට හේතුව කුමක්ද? මේ සේරටම උත්තර කලා ලෝකයේ මිනිස්සු හැටියට අපිට හොයන්න බැහැ. ඒකට උත්තර හොයා ගන්න ඕනේ පොලිසියයි. නමුත් අද පොලිසිය ගැන කියන කතාවලින් අපි කොහොමද එයාලව විශ්වාස කරන්නේ. මට තියෙන ප‍්‍රශ්නය ඒකයි. උපාලිව හොයන පරීක්‍ෂණත් එහෙමයි කියලා මට හිතෙනවා. උපාලිගේ පවුලේ අය වැලිකඩ පොලිසියට පැමිණිලි කරලා බලා සිටිද්දී ඔවුන්ව කොළඹ අපරාධ කොට්ඨාසයට යොමු කරලා ඒ ගැන පැමිණිලි කරන්න කිව්වේ මම. නමුත් එදා මෙන්ම අදත් පොලිසිය මේක සත පහකටවත් මායිම් කළේ නැහැ. දැන්වත් උපාලි හොයලා දෙන්න කියලා පොලිසියට බලපෑම් කළ යුතුයි. ඒකට කලා කරුවන් වශයෙන් අපිට විශාල වගකීමක් තියෙනවා. දැන් ඔය අටවගෙන සිටින කලා සංගම් මේ ගැන කතාකරයි කියලා අපිට විශ්වාසයක් තියන්න බැහැ. ඒවා එක එක වුවමනාවන් වෙනුවෙන් අටවාගත්ත සංවිධාන මිසක් කලාකරුවන්ගේ ප‍්‍රශ්න ගැන කථා කරන්න ඉදිරිපත් වෙන සංවිධාන නෙවෙයි. නීතිය රැකවරණය ලැබිය යුත්තේ ප‍්‍රභූ හොරුන්ට විතරක් නෙවෙයි. කලාකරුවන්ටත්, රටේ ජනතාවටත් එහි රැුකවරණය තිබිය යුතුයි. යුක්තිය ඉටුවිය යුතුයි.

ධම්මික පි‍්‍රයදර්ශන