තරිඳු උඩුවරගෙදර

ළහිරුට ලියන්න ආසාව ආවෙ කොහොමද?
පුංචි කාලයෙ අපට අරමුණු නෑනෙ. සමාජයෙ අධිනිශ්චය වුණ රැුකියා ගැන පුංචිම කාලෙ අපි හීන දැක්කා. ඒත් එහෙම කාලයක අපට කොහෙන් හරි කියැවීමෙ පුරුද්දක් ආවා. මට අටේදී වගේ එමා බෝවාරි, අම්මා, සුදු ගෝනා සහ සුදුවැද්දා වගේ පොත් කිහිපයක් අපේ පුංචි ඉස්කෝලෙ පුස්තකාලයෙ තිබුණා. මට කතා ලියන්න ඕනෑවුණා. ඒ ආසාව එක්ක මම යොවුන් නවකතාවක් ලිව්වා ධාර්මික කියලා. මේක හරිම ආධුනික ප‍්‍රබන්ධයක්. මම ඒ කාලෙ කියවපු පොත් බොහොමයකින් ගත්ත අදහස් ඒ පොතේ පිරිලා තිබුණා. මම ඒ කාලෙ හිටියෙ මාතර කිතලගම ගම්මානයෙ. ඉතින්, ගැමි ජීවිතයක් අපට ලැබුණා. ඒ අත්දැකීම් එක්ක තමයි මම යොවුන් නවකතාව ලිව්වෙ. සාමාන්‍යපෙළ කාලයෙදී ගුරුවරයෙක්ට පොත දුන්නා. එයා මේක ටයිප් කරලා පොතේ ප‍්‍රින්ට් කොපියක් ගත්තා. මේ පොත යාළුවො, ගුරුවරු කියෙව්වා. හැමෝම මාව පුංචි සාහිත්‍යකාරයෙක් විදියට සැලකුවා.
බොරු කියන්න ඕනෑ නැහැනෙ. ඒ දවස්වල අපේ ගෙදර ඇහුවෙ අජිත් මුතුකුමාරණගෙ, කිංස්ලි පීරිස්ගෙ සිංදු. ‘පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී… අකුරට ආ දා ඇගෙ සිත බැඳුණි….’ වගෙ සිංදු අයියලා දානවා. අමරදේවලාගෙ සිංදු නම් ඇහිලාම නැහැ. අජිත්ගෙ පෙම් ගී වලට ඇඟ කිළිපොලා ගිහින් සිංදු ලියන්න ගත්තා. ඔය දවස්වල අජිත් මුතුකුමාරණලා වෙන සිංදුවල තාලයට සිංදු හැදුවා. ‘මේ නොනිවෙන දිවි ගමනේ’ සිංදුවෙ තාලයට ගැහුවා ‘ගංගොඩවිල සෝම හිමි’ කියලා සිංදුවක්. මමත් ඕවා බලාගෙන ඉඳලා වෙන සිංදුවල තාලයට සිංදු ලියන්න පටන්ගත්තා. ‘මාතර බෝ සමිඳුට… මල් පුදලා මං අද… ප‍්‍රාර්ථනා කරනවා.. ලැබෙන්න නුඹ මා හට….’ ඔන්න ඕක තමයි මං ලියපු මුල්ම සිංදුව. ඒ අතරේ තමයි මට කොළඹ යුගයේ කවි සහ අසූව දශකයෙ කවියන්ගෙ කවි හමුවුණේ. කුමාරගමලාගෙ ඉඳන් රත්න ශ‍්‍රී වෙනකන්ම කවියන්ව අහුවුණා. උසස්පෙළ කාලයේත් පරාක‍්‍රම, මොනිකා වගේ කවි කිවිඳියන්ව මට අහුවෙනවා. මේවා කියවද්දී මම කවිය ගැන හිතපු විදිය වෙනස් වුණා. උසස්පෙළ කාලය වෙද්දී මම සිංදු අත්හැරලා ඒ කවියන්ගෙ ආභාසයෙන් කවි ලියන්න ගත්තා.
උසස්පෙළින් පස්සෙ?
විශ්වවිද්‍යාලයට ආවාට පස්සෙ පත්තරේ පළ කිරීමේ ආසාවෙන් ලිව්වා. පත්තරේ කවියක් පළවීම මාර විනෝදයක්. ඔහොම කාලෙක එක කෝල් එකක් ආවා. ‘ළහිරු කිතලගමද කතා කරන්නෙ? මම දිවයිනේ නිරෝෂන් හැඳලගේ.’ කියලා කතාකළා. මගේ කවි ගැන සතුට පළ කළා. සම්මානයක් ලැබුණාම මට යම් සතුටක් ලැබුණා නම්, ඊටත් වඩා සතුටක් ඒ ඇමතුම ආවාම මම වින්දා. පත්තරේ මගේ කවිවලට ලැබුණු ප‍්‍රතිචාරත් විවිධයි. ‘අප්පටසිරි, ළහිරු කිතලගම ඔයාද?’ පත්තරෙන් මගෙ කවි කියපු කෙනෙක් ඔහොම අහද්දී පුදුම හැඟීමක් දැනුණා. මේ ආසාවන් පසුපස්සේ ගිහින් පත්තරවල ගිය කවි එකතුකරලා පොතක් කළා.
පොතට ලැබුණ ප‍්‍රතිචාර…
පොත කරලා ටික දවසකට පස්සෙ සඳුන් ප‍්‍රියංකර විතානගේ කියන කවි ලියන මිත‍්‍රයාට රුපියල් එකසිය පණහේ පොත තවත් රුපියල් හැත්තෑපහක් වියදම් කරලා තැපෑලෙන් යැව්වා. ඊට පස්සෙ මෙන්න සඳුන් විචාරයක් ලියලා. ඊමේල් එකක් එව්වා. මගේ කවි පොත හොඳටම විවේචනය කරලා. මට මුලින් ආවෙ කේන්තියක්. මම සල්ලි වියදම් කරලා මම පොත යැව්වාම මේ මිනිහා මට ගහලානේ කියලා. ඒත් මම ඒ විචාරය එකොළොස් වතාවක් කියෙව්වා. ස්වයංවිවේචනාත්මකව මගේ පොත දිහා බැලූ‍වා. සඳුන් මට පස්සෙ කාලෙක කිව්වා වෙන කෙනෙක් නම් මේ වගේ විචාරයකින් පස්සෙ තරහා වෙනවා. හැබැයි ළහිරු විචාරයෙන් පස්සෙ මා එක්ක තවත් මිත‍්‍ර වුණා කියලා. එදා සඳුන් ගෙනාපු විවේචනය මමම මගේම නිර්මාණ ගැන අලූ‍ත් විදියට හිතන්න යොමුකළා. ඉන්පස්සෙ කවිය ගැන මම ආයෙ ආයෙත් කියෙව්වා. තව ගොඩක් කියවන්න තියෙන නිසා මම අදත්, හෙටත් කියවනවා.
කවියෙන් එහා ජීවිතය සැලසුම් කරන්නෙ කොහොමද? රැුකියාවක්, ආර්ථික ස්ථාවරත්වයක් ගැන හිතන්නෙ කොහොමද?
මට ලොකු ප්ලෑන් නෑ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ මම කරන රැුකියාව හරිම අවිනිශ්චිතයි. ගිවිසුම් පදනමෙන් මම රස්සාව කරන්නෙ. හෙට වුණත් නැතිවෙන්න පුළුවන්. හැබැයි මට ලොකු ප්ලෑන් නෑ. මම මගේ අතීතය ගැන ටිකක් කියන්නම්.
අසූනවයෙ මම ඉපදුණා. මට අවුරුද්දක් යන්න කලින් තාත්තා නැතිවුණා. ජේවීපී කලබලවලින්. අම්මාට අවුරුදු තිස්එකේදී තමයි ළමයි හතරදෙනෙක් එක්ක තනිවෙන්නෙ. අම්මා මහගෙදරට එනවා. මාතර කිතලගම කියන ගම. අපේ ජීවිත විසිරුණු ගතියක් තිබුණා. ඒ වගේම ජීවිත අසීරුයි. තාත්තා භීෂණයෙන් අතුරුදන් වුණ හැටදාහේ ලිස්ට් එකේ හිටියා. ඒ නිසා පණස්දාහක විතර වන්දියක් ලැබුණා. ඒ කාලෙ හැටියට ලොකු වන්දියක් වුණ ඒ මුදලෙන් අම්මාට ගෙදර හදාගන්න පුළුවන් වුනා. ආයේ අම්මා ගෙදරට ආවා. අයියලා දෙන්නා ගෙදරින් වෙන්වෙද්දී අක්කායි මමයි තනිවුණා. අම්මා කළේ ගෙවල්වල වැඩපල කරපු එක. පුංචි දවසෙ වැටුපකට වැඩ කළේ. දවසෙ ආදායමට භූමිතෙල්, කිරිපිටි ගෙනල්ලා ජීවත්වුණේ. භූමිතෙල් ලාම්පුවෙ තෙල් පහුවදාට පාඩම් කරන්න එළිය අඩු කරලා අඩ අඳුරෙ පාඩම් කරද්දී මම එදා හිතුවෙ නෑ විශ්වවිද්‍යාලයට යන්න, ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න. උසස්පෙළ ලීවාම මම කැන්ඩි එකේ වැඩ කරන්න ආවා. ඒකෙන් ගෙදර උළුවහු ටික එහෙම හදාගන්න ලැබුණා. මම උසස්පෙළ ලියන කාලයේත් ගමේදී ජොබ් කළා. ගරාජ් එකකත් වැඩකළා. උසස්පෙළ ප‍්‍රතිඵල ආ දවසේ ඒ තුනක් එක්ක මම පාස් වුණ එක මම විශ්වාස කළේත් නැහැ. උපාධිය එක්ක මට දැන් පරිපාලන විභාගය ලියන්න පුළුවන්. නැත්නම් ගුරු වෘත්තියට හෝ වෙන රැුකියාවකට යන්න පුළුවන්. ගෙදරින් අහනවා පරිපාලන විභාගය ලියලා ප‍්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්නෙ කවදාද කියලා. ඒත් මට ඒවා කරන්න හිතෙන්නෙ නෑ. ඒත් මම එදිනෙදා ආදායමට ගැළපෙන රැුකියාවක් කරනවා. මම මේ අවුරුද්දෙ විවාහ වෙන්න ඉන්නවා. විවාහයෙන් පස්සෙ අනාථ වෙන්නෙ නැතිව ජීවිතේ ගෙවාගන්න තරම් ආදායමක් මට ඕනෑ. පුංචි කාර් එකක් ගන්න පුළුවන් වේවි. ඒ ගැනත් ලොකු බලාපොරොත්තුවක් නෑ. හැබැයි මට සාමාන්‍ය ආදායමක් තියෙන ජීවිතයක් විතරක් ඇති. පහළින් ආවත් ඉහළටම යන්න ප්ලෑන් එකක් මට නෑ.x