දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අගවිනිසුරු නලින් පෙරේරා මුණගැසීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම උත්සාහය ගෙන ඇත්තේ මරදාන, ඩීන්ස් පාරේ, පාතිමා දෙව් මැදුරේ මීසම් පාලක පියනම හමුවී ඔහු මාර්ගයෙන් අගවිනිසුරුවරයා හමුවීමට අවස්ථාවක් උදාකර ගැනීමට සාකච්ඡා කිරීම මගින්ය.
පාතිමා දෙව් මැදුරේ පියනම හමුවී උදය ගම්මන්පිල මහතා මුලින්ම ප්‍රකාශ කර ඇත්තේ තමාට දේව ආශීර්වාද ලබාගැනීම සඳහා පැමිණි බවය.
අගවිනිසුරු නලින් පෙරේරා ඩීන්ස් පාරේ පාතිමා දෙව් මැදුරට පැමිණෙන බවත් ඒ නිසාම එහි මීසම් පාලක පියනම දැන හඳුනන බවත් දැනගැනීමෙන් පසු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා එම උත්සාහය ගෙන ඇත.
එම සාකච්ඡාවේදී අගවිනිසුරුවරයා හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කරන ලද ඉල්ලීම පාතිමා දෙව් මැදුරේ මීසම් පාලක පියනම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව සිය උත්සාහය අතහැර දැමීමට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාට සිදුවී ඇත.
ජනාධිපතිවරයා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට විරුද්ධව, අතරමැදි පෙත්සම්කරුවකු වශයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා කටයුතු කරයි. එම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසද ඔහු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පාතිමා දෙව්මැදුරේ මීසම් පාලක පියනම නිමල මරිය නිකායට අයත් පියනමක් වන අතර සාමාන්‍යයෙන් නිමල මරිය නිකායේ පියවරුන් ස්වාධීන ලෙස කටයුතු කරන අය ලෙස සැලකේ. ඔවුන් මෙම දේශපාලන අර්බුදකාරී අවස්ථාවේද කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ට ප්‍රතිවිරුද්ධ මත දරමින් සිටින අය බව තවදුරටත් වාර්තා වේ. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ට බලපෑම් කිරීමට හැකියාවක් ඇත්තේ ඔහු යටතේ ඇති කොළඹ පදවි පියවරුන්ට බවද තවදුරටත් දැනගන්නට ඇත.■

ලසන්ත රුහුණගේ/ අරුණ ජයවර්ධන