ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසු රනිල් වික්‍රමසිංහ වෙත යළිත් අගමැතිධුරය ලබාදෙමින් ඔක්තෝබර් 26 වැනිදා තිබුණු තත්වයට යළි රට ගෙනයෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක කරූ ජයසූරිය සමඟ පවත්වා ඇති සාකච්ඡාවලදී කතානායකවරයාට ඒ පිළිබඳ එකඟතාව ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර පසුගිය සති දෙකක කාලය තුළ වරින් වර දූරකථන මාර්ගයෙන් හා මුණගැසී සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත.
එහිදී කතානායකවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට නැති බව පැහැදිලිවම පෙනී ගොස් තිබෙන බවත්, එවැනි පසුබිමක ඔවුන්ට ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙන්ම විදේශීය රජයන් රැසක් මේ පිළිබඳව උනන්දුවෙන් සිටින බවත් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට දන්වා තිබෙන බවත් කතානායකවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා මත පදනම්ව නොව, ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබුණු තත්ත්වයට යා යුතුය යන අදහස මත පදනම්ව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කිරීම සඳහා එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වී ඇත.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වූ ආකාරයට කටයුතු කරනු ඇතිදැයි විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පෙරමුණට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ අතර ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට පාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළද රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම අගමැතිධුරය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ අනාගත යහපත තකා කී ප්‍රකාශයක් පමණක්යැයි ජනාධිපතිවරයාට සමීප කණ්ඩායම් විසින් ඉදිරියේදී ප්‍රචාරය කිරීමට නියමිතය.■