අශාන් වීරසිංහ

මෙරට රාජ්‍ය සේවයේ අකර්මණ්‍යභාවය සහ පසුගාමීත්වය පිළිබඳ පසුග ිය කාලයේ සමාජ මාධ්‍යවල හුවමාරු වූ එක්තරා ඡායාරූපයක් නිසා ජනප්‍රිය කතාබහක් ඇති වු‚. කිසියම් රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට ගිය පුද්ගලයෙකු විසින් මුල් වරට පළ කර තිබුණු ඡායාරූපයක දැක්වෙන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවිකාවන් දෙදෙනකු රාජකාරී වේලාව ඇතුළත සිය මේස මත හිස තබාගෙන නින්දේ පසුවන දර්ශනයකි. මෙම සිද්ධිය පදනම් කරගෙන දින කිහිපයක් පුරාවට සමාජ මාධ්‍ය පුරාවටම මෙම ඡායාරූපය සංසරණය වූයේ සමස්ත රාජ්‍ය සේවයම ඊට ලඝු කරමින් පමණක් නොව අදාළ නිලධාරිනියන් පමණක් ඉලක්ක කරගෙන බැව් පෙනෙන්නට තිබු‚. පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා වැටුප් ලබන කිසිදු සේවකයෙකු තම රාජකාරී පැහැර හරිමින් නිදිකිරා වැටීම අප කිසිසේත්ම අනුමත නොකරන නමුදු මේ තනි සිද්ධිය සමස්ත රාජ්‍ය සේවා යන්ත්‍රණයෙන්ම වියුක්ත කරගෙන, තනි පුද්ගලයන් ඉලක්ක කරගෙන හුදු උපහාසාත්මක විරෝධයක ස්වරූපයෙන් මුදා හැරීම වෙනුවට සංකීර්ණ ලෙස සලකා බැලිය යුතු කතිකාවකට ඇරයුම් කරන බව අපගේ අදහසයි.

ඇත්තටම පුරවැසියන් ගෙවන බදු මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය සේවය මේ තත්ත්වයට පිරිහීම ඉබේ වූවක්ද? හුදෙක්ම ජරාජීර්ණ දේශපාලන ක්‍රමයෙහි ගොදුරක් බවට පත්වීමෙහි ප්‍රතිඵලයක් පමණද? නැතහොත් පුරවැසියාගේ පැත්තෙන් මේ පිරිහීම වෙත දායකත්වය ලැබී නැද්ද? වැනි ප්‍රශ්න මතු කළ යුතු වන්නේ එහෙයිනි. මේ නිසා මෙම ලිපියේ වස්තු විෂය අදාළ කේවල ඡායාරූපය හෝ සිද්ධිය හෝ නොව, අකර්මණ්‍ය රාජ්‍ය සේවයේ ඉරණම සම්බන්ධයෙන් එය විවේචනය කරන පුරවැසි අපද වගකීම් දැරිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නය මතු කිරීමයි.

‍ආරම්භක යුගයේදී සිවිල් සේවය ලෙස හැඳින්වුණු ශ්‍රී ලංකා රාජ්‍ය සේවය වෘත්තීයමයභාවය අතින් ඉහළ තත්ත්වයක පැවැති අතර මූලික වශයෙන්ම ඊට හේතුව වූයේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් මුල් තැනට ගෙන අදාළ පත් කිරීම් සිදු කිරීමයි. එහෙත් පසුකාලීනව, විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව මගින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ බලතල කැබිනට් මණ්ඩලය වෙත පැවරීම වැනි විධිවිධානමය සංශෝධන හරහා එය ක්‍රමානුකූලව දේශපාලනික බලාධිකාරියෙහි zසෙල්ලම් බඩුවක්z බවට පත් වීමෙහි ප්‍රතිඵල අපි අද අත්දකිමු. රාජ්‍ය යන්ත්‍රණයෙහි වැදගත්ම සේවාවන් පුරවැසියන් වෙනුවන් සැපයීම අරමුණු කරගත් රාජ්‍ය සේවයක් ජරාජීර්ණ හා ප්‍රතිපත්ති විරහිත දේශපාලනික ක්‍රමයක ගොදුරක් බවට පත් වීමේ ඛේදවාචකය අපට පැහැදිලිව පෙනෙන්නට තිබේ. සියලූ‍ම තීන්දු ගැනීමේදී දේශපාලනික බලය නමැති සාධකයට යටත් වන්නට සිදු වීම නිසැක වශයෙන්ම දූෂණය, නාස්තිය, පෞද්ගලික වරදාන හා සැලකිලි, ස්ථාපිත රෙගුලාසි හා පරිපාටි උල්ලංඝනය කිරීම් ආදි මෙකී නොකී අකාර්යක්ෂම හා වගකීම් විරහිත ලක්ෂණ ඒ තුළට රිංගා පැලපදියම් වීමට බලපා ඇති බවට අමුතුවෙන් තර්ක කළ යුතු නැත.

මේ නූගත් දේශපාලන ක්‍රමය තුළ තම රාජකාරීන් ඉටු කිරීමේදී රාජ්‍ය නිලධාරීන් ප්‍රසිද්ධියේ ගස් බැඳීම්, විශේෂයෙන්ම අදාළ නිලධාරියා හෝ නිලධාරිනිය සිංහල-බෞද්ධ නොවන වාර්ගික කණ්ඩායමක් නියෝජනය කරන්නේ නම් ජනප්‍රිය පරිදිම ආගමික බලාධිකාරීන් සහ ඒ වටා එක්රැස් වන අවිචාරවත් දායක සභා පෙරටු කරගෙන තර්ජනය කිරීම්, වීඩියෝ කැමරා ක්‍රියාත්මක කරගෙන කාර්යාලවලට කඩා පනින, මහ පාරේ නිදියන තග්ස් පොලිටික්කන් ගෙන් ගර්ජනාවන්ට ලක් වීම් ආදි සිදුවීම් රැසක් ආසන්නතම අතීත මතකය තුළ රැඳී පවතී. සියලූ‍ම රෙගුලාසිමය කාරණා පසෙකින් තැබුවද එවන් පසුබිමක් තුළ තම රාජකාරී වපසරිය තුළ ආවස්ථීක තීරණ ගනිමින් සේවය කිරීමට අවකාශයක් පොදුවේ රාජ්‍ය සේවය තුළ පවතින බවක් සිතිය නොහැක. මෙවන් ජනප්‍රියවාදී සංදර්ශන වටකරගෙන ඒ දෙස ආශාවෙන් බලා සිටින්නේත්, ඒවා වීඩියෝ කොට තම තමන්ගේ විශ්ලේෂණ සමගින් සමාජ මාධ්‍යවල මුදා හරින්නේත්, රාජ්‍ය නිලධාරියා හෑල්ලූ‍ කරන දේශපාලන ක්‍රමය නඩත්තු කරන්නේත් එයට බනින අප විසින්ම බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

කාර්යක්ෂමතාව යන්න හදිසියේ ප්‍රාදූර්භූත කළ හැක්කක් නොවේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවය සලකා බැලීමේදී සේවයට බඳවා ගැනීම, උසස්වීම්, ස්ථාන මාරු, ප්‍රතිලාභ හා මානව සම්පත් කළමනාකරණ ඇතුළු තීරණාත්මක කාරණා විධිවත් හා ස්වාධීන පරිපාටියකට සිදු නොවන තාක් කල් හොඳම පුද්ගලයන් ඔවුනට සුදුසුම සේවාවන්හි අනුයුක්ත කිරීමක් සිදු නොවනු ඇත. යම් හෙයකින් එසේ සිදු කළද රාජ්‍ය සේවය තුළද ඉහළ පුටු තවදුරටත් දේශපාලනික එහෙයියන් ලෙසම පවත්වා ගන්නා තාක්කල් එහිද ප්‍රතිඵල භුක්ති විඳීම හිතලූවක් පමණක් වනු ඇත. විශේෂයෙන්ම පළාත් සභා වැනි ආයතන මගින් පාලනය වන රාජ්‍ය ආයතනවල සේවකයන් ජනාධිපති, අගමැති වැනි ඉහළ පෙළේ දේශපාලඥයන් සහභාගි වන, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සේ පෙනෙන්නට තිඛෙන අවස්ථා සඳහා නිවාඩු දිනවල පවා බලෙන් සහභාගි කරවීම අනිවාර්ය කරමින් ලිපි නිකුත් කරන අවස්ථා අප දැක ඇත. එසේ සහභාගි නොවන අයගේ නම් ලැයිස්තුවක් එකතු කිරීම වැනි වක්‍ර, බොළඳ තර්ජනය කිරීම්වලටද සාමාන්‍ය රාජ්‍ය සේවකයා ලක් වූ අවස්ථාද අප දැක ඇත. මේ සියල්ල සිදු වන්නේ සොච්චම් පඩියකටය. සමාජය තුළ රාජ්‍ය සේවකයා යන ප්‍රතිරූපය හෑල්ලූ‍ වීමට මූලික වශයෙන්ම මේ කියන කාරණා දෙකම, එනම් සමාජ තත්ත්වයක් පවත්වා ගැනීමට අප්‍රමාණවත් සුළු වැටුප් හා ඒ මධ්‍යයේම සිදු වන ඇඟිලි ගැහීම් හා තර්ජන ඍජුවම බලපාන බව සත්‍යයකි. එවන් පසුබිමක් තුළ රාජ්‍ය සේවකයාද වැඩ කිරීම වෙනුවට දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන අසීමාන්තික චක්‍රලේඛ හා පරිපාටි සංග්‍රහ ඉවසාගෙන සිටීමට තෝරා ගැනීම සමහරවිට පෞද්ගලික තෝරාගැනීමක් පමණක්ම නොවන්නට ඉඩ ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියා දෙයක් තිබුණද ඒ සඳහා සිදු කෙරෙන පත් කිරීම්ද සිදු වන්නේ ජනාධිපතිවරයා විසිනි. මින් පෙනී යන්නේද ස්වාධීන යැයි කියන ආයතන පවා ස්වාධීන වීමෙහි සීමා ඉම් නිල හෝ නොල නොවන ආකාරවලින් සලකුණු කර ඇති බව නොවේද? විශේෂයෙන්ම, සාධාරණව, විනිවිද බවින් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට, කාර්යක්ෂම, විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම යන මෙහෙවර ප්‍රකාශය අනුව කටයුතු කරන ආයතනයක් දේශපාලනික අධිකාරියක බලපෑමට ලක් වීමට ඉඩ විවර කර තිබීමෙන් ප්‍රශ්න කිරීමට ලක් වන තවත් කාරණයක් තිබේ. එනම්, අමාත්‍ය මණ්ඩලයේ නියමයන්ට යටත්ව රාජ්‍ය නිලධාරීන් අරබයා ගනු ලබන තීරණ සම්බන්ධයෙන් අභියාචනා කළ හැකි බලාධිකාරිය වන්නේද එය වීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 58 (2) වගන්තියෙහි මේ බව පැහැදිලිව දැක්වේ. මේ නිසා රාජ්‍ය සේවය ස්වාධීන කිරීම යන්නෙන් අප අදහස් කරන්නේ මෙවැනි බොඳ වුණු සීමාවන් පිහිටුවීම නොව කිසිදු දේශපාලනික අධිකාරියක තීරණ මත රඳා නොපවතින, ස්වාධීන පරිපාලනාධිකාරියකට පමණක් යටත් යාන්ත්‍රණයක් තුළට එය ඇතුළත් කිරීමය. විශේෂයෙන්ම මෙවන් කොමිෂන් සභා ආදියට නිලධාරීන් පත් කිරීමේදී දේශපාලනික නායකයන්ට එහි බලතල පැවරීම යන්න අප තේරුම් ගත යුත්තේද ප්‍රායෝගි ක ලෝකයේ ගතිකයන් කෙරෙන් උගත් පාඩම් සහිතවය. ලලිත් වීරතුංග සිද්ධිය ආදිය කෙරෙන් උගත හැකි පාඩම වුවද මීට නිදසුන්ය.

අනෙක් අතට, දේශපාලන ක්‍රමය විෂයික යුතෝපියානු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අප විශ්වාසය තබන්නේ නැත. එහෙත්, පවතින දේශපාලන ශරීරයෙහි මේ දැකිය හැකි කුණු වීම කෙරෙහි ප්‍රතිචාරාත්මක වීමට පුරවැසියාට තවදුරටත් නොහැකි බව පිළිගන්නේද නැත. අඩුම තරමින් එය බැන බැන හෝ නඩත්තු කරමින් සිටින්නේද පුරවැසියා විසින් බවවත් නොසලකා හැරීමටද නොහැක.

ඉහත සිද්ධියට අදාළ රාජ්‍ය නිලධාරිනියන් නැවත මේ කතාවට සම්බන්ධ වන්නේ මෙතැනදීය. රාජ්‍ය සේවයක් පුරවැසියන්ට හිතකර ලෙස නැවත ගොඩනගන්නට නම් කළ යුත්තේ තමන්ට සේවා ලබා දීමේදී ඇති වූ අක්‍රමිකතා මත උපන් කේන්තිය තනි සේවකයන් ඉලක්ක කොට මුදා හැරීම වැනි තාවකාලික ප්‍රතිචාර දැක්වීම නොවේ. වැඩ කරන්නට බැරි නම් ගෙදර නවතින්න යි කියන අයම පවා මේ ක්‍රමය පවත්වාගෙන යාමට තවත් තලයකදී දායක වීමේ පරස්පරයද අපි තේරුම් ගත යුත්තෙමු. මේ නිසා, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සහතික කරන පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මේ ක්‍රමය තල්ලූ‍ කිරීම හැර තිරසාර විසඳුමක් මේ ගැටලූවට නොමැත. පසුගිය රෙජීමයේ දූෂිතකම, මර්දනීය ස්වරූපය සහ ප්‍රජා පීඩකත්වය ආදිය සටන් පාඨවලට ග්‍රහණය කරගෙන බලයට පැමි‚ වත්මන් ආණ්ඩුව පවා, පැවැති ආණ්ඩුවට වඩා වැඩියෙන් වෙනස් එකක් ලෙස භාර ගැනීමට ජනතාව නොපෙළඹීමේත්, අප්‍රසාදයට ලක්වීමේත් එක හේතුවක් වන්නේ ඉහත කී අවශ්‍යතාව වැනි වැදගත් පුරවැසි අපේක්ෂා ඉටු කිරීම පසෙකට දැමීමයි. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමභාවය සම්බන්ධයෙන් වගකීමක් එය විවේචනය කරන පුරවැසියාටද ඇති බව හිතෙන්නේ එබැවිනි. මේ නිසා අප නඩත්තු කරන මෙම ක්‍රමය විසින් මතු කරන ඉච්ඡාභංගත්වයේ වගකීමද පැටවෙන්නේ අවසානයේදී අප මතය.•