සනහස, ලස්සන, ආසාව, රෝසමල් සහ වීනස්

ග්‍රීක-රෝම මිථ්‍යා පුරාණෝක්තීන්හි එන දේව වීරාදී චරිතද, ඒවා හා බැඳුණු සුවහසක් සංකල්ප සහ වෘත්තාන්තයන්ද බටහිර ඉතිහාසය පුරා විශිෂ්ට කලා නිර්මාණයන්ට පාදක වී ඇත්තේ
විමසන්නෙකු පළමුවැනි අඩියේදීම පහසුවෙන් පුදුම කරවන ලෙසිනි. කලාව උදෙසා අසීමිත ලෙස ප්‍රස්තුත කර ගත් මනරංජනීය කලාපයක් වන ඒ රූප-කතා-ලතා-මායා ලෝකයේ ඇති වදනක් වදනක් පාසා විස්තර කිරීමට පොතක් බැගින් ලිවිය යුතුව වෙද්දී, පත්තර පිටු කාලක ඒ ගැන කුමක් ලියම්දැයි මම කල්පනා කරමි. වැලන්ටයින් දවස සතියක් ඈතින් තිබියදී ලොව පුරා ඊට අදාළව පළ වන දැන්වීම්, සුබ පැතුම් ආදියෙහි වැඩිපුරම දක්නට ලැබෙන්නේ ‘cupid’ ලෙස හැඳින්වෙන කාමදේවයා නැතහොත් අනංගයාය. ඔහු වූ කලීඅපේ සාහිත්‍යය තුළත් බොහෝ තන්හි සිට මල් විදින ‘මින්දද’ හෙවත් මල්සරාමය. මේ සැරසෙන්නේ ඒ cupid ගැන නොව ඔහුගේ මව ලෙසත්, ආලයේ, සුන්දරත්වයේ, සරාගාසාවේ සහ සශ්‍රීකත්වයේ දෙවඟන ලෙසත් සැලකෙන වීනස් (Venus) ගැන විමසන්නටය.

රෝමානුවෝ වීනස් සැලකුවේ ‘රෝමයේ මව’ ලෙසිනි. ඇය රෝමයේ උරුමක්කාර දෙවඟන වීම සාධාරණිකරණය වන්නේ ට්‍රෝයි පුරයෙන් පලා ගොස් රෝමය තනන ලද්දේ ඇගේ අනෙක් පුත්‍රයා වන අනියස් (Aeneas) යැයි සඳහන් වන බැවිනි. ග්‍රීකයන්ගේ මිථ්‍යා දෙවඟන ‘අෆ්රොඩයිටි’ (Aperodite) නම් වේ. ඇගේ පුත්‍රයා ද ග්‍රීකයන්ගේ කාම දෙවියා වන ‘ඊරෝස්’ (Eros)ය. ඓතිහාසික අධිරාජ්‍ය දෙකක මේ සංස්කෘතික සමානකම්වලින් පෙනී යන්නේ රෝමානුවන් ග්‍රීක සංස්කෘතික සංකල්පයන් පුනරුත්පාදනය කර ගත් ආකාරයයි.

වීනස්ගේ රුව නිතරම නිරූපනය කෙරෙනුයේ සෞන්දර්යාත්මක පසුබිම් සහ සලකුණු සහිතවයි. ඇගේ පිරිපුන් නගින ස්ත්‍රී රුව තරම් පැරණි සිත්තරුන්ගේ පින්සල් වෙහෙසවූ අන් යමක් නැතැයි අපට සිතෙයි. රෝස මල්, සිප්පි කටු, පරෙවියන්, ඩොල්පින් මත්ස්‍යයන්, දෙළුම් ඵල, මුතු කැට, කැඩපත් සහ මිණිමෙවුල් යනාදිය වීනස් රුව හා සම්බන්ධ සාම්ප්‍රදායික සංකේත වේ. සයුර ආශ්‍රිත වස්තු කිහිපයක්ම ඒ අතර තිබෙනුයේ ඇයි? මිථ්‍යෝක්තිය අනුව ඇය බිහිවූයේ මුහුදු දියේ පෙණ අතරින් වීම ඊට හේතුවයි. ඒ පසුබිම ඔස්සේ වීනස් රුව සහිත ප්‍රකටම සිතුවමක් වන ඉතාලියානු සිත්තර සැන්ඩ්‍රෝ බොට්ටිසෙල්ලි (ක්‍රි.ව.1445-1510)ගේ වීනස්ගේ උපත (The Birth of Venus) නම් පැහැදුල් විශිෂ්ට සිතුවම කියවිය හැකිය.

මනාව වැඩුණු යෞවනියක ලෙස සයුරෙන් උපත ලබන වීනස් රැලි බෙලි කටුවක් මත ගොඩබිමට පාවෙන අයුරු එහි නිරූපිතය. සිතුවම විග්‍රහ කරන්නෝ එම බෙලිකටුව ස්ත්‍රී නිමිත්ත මනාව සංකේතවත් කරන්නක් ලෙස හඳුනාගනිති. ඇගේ මේ අහිංසක මුහුණ සහ ලජ්ජාශීලී ඉරියව්ව සිත්තම් ලොව තුළ අතිශයින්ම ජනප්‍රියය. වම් පසින් ගුවනේ සිටිමින් වීනස් වෙතට රෝසමල් ඉසිමින්, ඇය ගොඩබිමට පා කර යවන්නේ සුළඟට අධිපති ‘සැෆර්’ (Zephyr) දෙවියන් සහ මඳ සුළඟේ කුමරිය ලෙස සැලකෙන ‘අයුරා’ (Aura) විසිනි. ගොඩබිමෙහි සිට ඇය පිළිගෙන සළුවක් පෙරවීමට බලා සිටින්නේ සෘතු දෙවඟනන් තිදෙනාගෙන් කෙනෙකු වන ‘වසන්ත දෙවඟන’ බව සිතුවම අරුත් ගන්වන්නෝ පවසත්. ඇය ‘කුසුම් දෙවඟන’ හෙවත් ‘ෆ්ලෝරා’ බව ඇතැමුන්ගේ මතයයි.

මේ මායාකල්පිත ‘වීනස් උපත’ දක්වන ප්‍රකට සිතුවම් ගණනාවකි. බොට්ටිසෙල්ලි විසින්ම ‘Primavera’ ඇතුළු තමාගේ තවත් ප්‍රකට සිතුවම් කිහිපයකට මේ තේමාව යොදාගෙන ඇති අතර ෆ්‍රැන්කොයිස් බවුචර්, ඇලෙක්සැන්ඩර් කබානෙල්, ජෝර්ජ් ස්පෙන්සර් වොට්සන් වැනි සිත්තරුන්ද වීනස්ගේ උපත මනරම් ලෙස සිතුවමට නගා ඇත.

පුරාණෝක්ති අනුව යුද්ධයට අධිපති ‘මාර්ස්’ (Mars) හා පෙමින් බැඳී සිටි වීනස් පසුව ගින්නට සහ ලෝහ ධාතුවට අධිපති වූ ‘වල්කන්’ (Vulcan) දෙවිඳු හා විවාපත් වෙයි. වල්කන් යනු විරූපීම දෙවියා වුවද, වීනස් හට දැඩි සේ ආදරය කළ ඔහු ඇයට ගමන් කිරීමට රන්මුවා කරත්තයක් තනා ඇගේ රුවට සරි වන ලෙස එය පරෙවියන් විසින් ඇදගෙන යාමට සැලැස්වූ බව සඳහන් වේ. රෝම ජනතාව වීනස් දෙවඟන කවරාකාර බැතියකින් ඇදහූවෝද යත් ඇගේ ප්‍රතිමා ‘මිර්ටල්’ සහ රෝස මල්වලින් සරසා නිවෙස්වල තබා ගත්හ. ඔවුහු අහසේ දුටු දීප්තිමත් ම තාරකාව වූ සිකුරු තරුවද, ‘වීනස්’ ලෙස නම් කළහ. යුවතියෝ විවාහයට පෙර තමන් කුඩා කල සිට පාවිච්චි කළ සියලු කෙළිබඩු වීනස් ප්‍රතිමාවක් පාමුල පුද කළෝය. ශුද්ධත්වය, මාතෘත්වය, වාසනාව, සනහස, රාගාසාව, ආකර්ශනය සහ ජයග්‍රහණයද ඇගෙන් ලැබෙන්නේ යැයි සලකා පුද පූජා කළහ.

ඇන්ටියොච් හි ඇලෙක්සැන්ඩ්‍රස් නම් ශිල්පියා විසින් නිර්මාණය කළේයැයි සැලකෙන දැන් පැරීසියේ ලූවර් කෞතුකාගරයේ තබා ඇති ‘මිලෝහි වීනස්’ (Venus de Milo) නම් සුප්‍රසිද්ධ ප්‍රතිමාවෙන් නිරූපනය වන්නේ ග්‍රීසියේ අෆ්රොඩයිටි දෙවඟන බව කියවෙතත්, ජනප්‍රියතම වීනස් රුව ලෙසද බොහෝ විට පිළිගැනෙන්නේ එයයි. අතීතයේ යාවී එන කලාව වීනස් විශ්වාසයෙන් ලස්සන වී ඇති සැටි එසේය. වීනස් මතවාදය කලාව කුළ කොතරම් කිඳා බැස ගත්තේද යත් පසු කලෙක නග්න ස්ත්‍රියක් දැක්වෙන ඕනෑම සිතුවමක් හෝ මූර්තියක් ‘වීනස්’ නමින් හැඳින්වෙන්නට පටන් ගත් බව කියැවේ. වීනස්ගේ සමස්ත රූප ලෝකය මෙහි දිග හැරීමට අවකාශ නැතත්, ඇය සැම විටම ප්‍රේම රාග ආසා කල්පනා වඩවන අහිංසක යෞවනියක ලෙසම සිතුවම්ගත වී නොමැති බව සනාථ කරන එක් සිතුවමක් ගැන කියනු වටී. ඇය එහි පෙනී සිටින්නේ වඩාත් යථාර්ථවත් මාතෘ භූමිකාවකිනි. ලියෝවන්නි වලිසියෝ නම් ඉතාලියානු සිත්තරාගේ ‘වීනස්ගෙන් මල්සරාට රෝසමල් කස පහර’ (Venus Whipping Cupid with Roses) නම් ඒ රේඛා සිතුවමෙහි දැක්වෙන්නේ ඇය කුමක් හෝ වරදකට රෝස මල් කලඹකින්ම තම අනංග පුත්‍රයාට තලන අයුරකි.

ලක්ශාන්ත අතුකෝරල