20.5 C
Sri Lanka
19 August,2022

පාස්කු ප්‍රහාරය ගැන කරනවා නම් රනිල් කළ යුතු දේ

Must read

■ පුරවැසියා

රනිල් වික්‍රමසිංහ දේශපාලන සදාචාරය තුට්ටුවකට මායිම් නොකරමින් ඉතාම සටකපට ලෙස කෙටි මාර්ගයකින් සිය දේශපාලන ජීවිතයේ අරමුණට ළඟා විය. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධුර කාලයේ අනුප්‍රාප්තිකයා ලෙස 2024 දක්වා ඉල්ලා අස් නොවුණහොත් ඔහු කටයුතු කරනු ඇත. රනිල් වික්‍රමසිංහගේ රාජ්‍ය නායකත්වයට පත්වීමේ මෙම අවස්ථාව බොහෝ විට ලෝක වාර්තාවක්ද විය හැකිය. ඊට හේතුව නියෝජිතයින් 225ක් සිටිනා පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමිව තිබියදී අගමැතිධුරයට පත්වීමත්, ජනාධිපති ධුරය හිස්වීමෙන් පසු ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී බහුතරය ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත්වීමත්ය.


මෙම තරගයට පිවිසෙන අවස්ථාව වනවිට රනිල් වික්‍රමසිංහට නැති වෙන්නට දෙයක් තිබුණේ නැත. ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයට රටෙන්ම ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණය. දේශපාලනයෙන් විශ්‍රාම යනවා යැයි කියමින් හා එම මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ තරුණ නායකත්වයක් පත්කරනවා යැයි කියමින් සහ ඒ සියල්ල සඳහා කල් මරමින් සිට අවසානයේ රනිල් වික්‍රමසිංහ එම මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආවේය.
රටේ අගමැතිවරයා ලෙස වැඩිම අවස්ථා ගණනකදී තේරී පත්වුවද ඒ සෑම අවස්ථාවකම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ඔහුගේ විශිෂ්ට සාර්ථකත්වයක් අප දුටුවේ නැත. බලය ලබාගන්නා සෑම අවස්ථාවකම රාජ්‍ය පාලනය ඔහු සිදුකරනු ලැබූයේ ඔහු කියනා දෙය දේවත්වයෙන් සලකන, ඔහුව ප්‍රශ්න නොකරන හා පෞද්ගලික මට්ටමෙන් ඇසුරු කරන කිහිප දෙනෙකුට වගකීම් පවරමින්ය. ඒවායේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔහු සමඟ දේශපාලනිකව සිටි පිරිසද ඔහුගෙන් විතැන් වීමය. සාර්ථක අවසානයක් කරා ගෙනයෑමට නොහැකි වීමෙන් රාජ්‍ය පාලනය අසාර්ථක කරගැනීමය. හොර පාරෙන් ගොස් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අගමැතිකම බාර ගැනීමෙන් පසුද ඔහු කළේ ඉහත සුපුරුදු ක්‍රියාවමය. ඔහු සමඟ දැනට පක්ෂයේ ඉතිරි වී සිටින ප්‍රධාන තනතුරුධාරීන්ට ඔවුන්ගේ ඇති සුදුසුකම් හා හැකියාවන් තක්සේරු නොකරමින් රට වැටී ඇති මහා ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමේ වගකීම් ලබාදීමය. ඒ කිසිවකු මෙම ආර්ථික ප්‍රශ්නයට විසඳුම් සොයනු අප දුටුවේ නැති අතර ඒ සඳහා ඔවුන්ට විසඳුම් තිබෙන බවක්ද අප දුටුවේ නැත. එසේ වුවද රනිල් වික්‍රමසිංහගේ එම විශ්වාසවන්තයින් කාර්යාල, ප්‍රවාහන හා කාර්ය මණ්ඩල යන රාජ්‍ය පහසුකම් භුක්ති විඳිනු අප දුටුවෙමු.


අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඔහු ජාතිය අමතමින් ප්‍රකාශ කිහිපයක් කළේය. ඉන් විශේෂිත එකක් වන්නේ කවුරු බලයට පැමිණියත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රිියාත්මක කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ඔහු සූදානම් කර ඇති බව කීමය. අනෙක් විශේෂිත කරුණ වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ මැසිවිල්ල තවදුරටත් ඉදිරියට ගෙන නොයා අවසන් කළ යුතු බව හා ඒ සඳහා අවශ්‍ය නම් විදේශ පරීක්ෂණ කණ්ඩායමක වාර්තාවක් සලකා බැලිය හැකි බව කීමය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා මේ වනවිටත් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ අතීත හා වර්තමාන ක්‍රියාකාරිත්වයන් ඔවුන් පිළිනොගන්නා බවය. ඔහු කියූ මුල් කරුණ වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගතහොත් මෑතකම අපට ලැබෙන අත්දැකීම කුමක්ද? රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය යටතේ කැබිනට් මණ්ඩලය අනුමතකර ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ විජයදාස රාජපක්ෂගේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරයන්ට විරුද්ධ එකක් බවය. ඇත්ත 19 සංශෝධනයට යළි යෑමේ යෝජනා ඔහු ගෙනෙන්නට තිබුණේ එහිය. එහි එවැන්නක් නැත. ඔහු කියන 19ට යෑමේ ලියවිල්ල එය නම් එම ප්‍රකාශයේ ඇත්තේ ජනතාව රැවටීමේ කට්ට කෛරාටික බව මිස වෙනකක් නොවේ. නැත්නම් ඔහු සකස්කර ඇති ලියවිල්ල ඔහු රටට ඉදිරිපත් කළ යුතුවා පමණක් නොව එය පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ඉදිරිපත් කළ යුතුය.
පාස්කු ප්‍රහාරයේ දුක්ගැනවිල්ල අවසන් කිරීම යනු එහි සැබෑ මහා මොළකරුවන් සොයා දඬුවම් ලබාදීම මිස ජාත්‍යන්තර පරීක්ෂණ නම් සේප්පුවක දමා එහි සත්‍යය සොයා ගැනීම වසා දැමීම නොවේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ පරීක්ෂණ කණ්ඩායමක යම් වාර්තාවක් ගැන ඒ සමයේ කතාවත් තිබුණි. එය එම ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් නොවේ. සතියක පමණ කාලයක් කළ බාහිර පරීක්ෂණයකි. එම පරීක්ෂණය සම්බන්ධයෙන් රාජපක්ෂවරුද ඒ කාලයේ කැමැත්තෙන් සිටියෝය. රනිල් වික්‍රමසිංහ සමහරවිට කියන්නේ ඒ ගැන විය යුතුය. එයද පාස්කු ප්‍රහාරයේ ඇත්ත වළ දැමීමට කරන උත්සාහයක් මිස වෙනකක් නොවේ. පාස්කු ප්‍රහාරයේ ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නම් විශේෂ උත්සාහයන් අවශ්‍ය නැත. ඒ සඳහා කළ යුත්තේ ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන් සීඅයිඩීය කළ පරීක්ෂණය එම නිළධාරීන්ගේම මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යෑමය. යටගසා ඇති එම පරීක්ෂණයේ තව ලිහා ගැනීමට ඇත්තේ ගැටලු කිහිපයක් පමණය. ප්‍රශ්න කිරීමට ඇත්තේ දෙතුන් දෙනෙකුගෙන් පමණය. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතහොත් පාස්කු ප්‍රහාරයේ වළලා ඇති සත්‍යය හෙළි වනු ඇත. රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලා ආරක්ෂා නොකර පාස්කු ප්‍රහාරයේ දුක්ගැනවිල්ල අවසන් කරන්නට අවශ්‍ය නම් කළ යුත්තේ එයය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි