No menu items!
19.9 C
Sri Lanka
29 March,2024

සිරිසේනටත්, මහින්දටත්, රනිල්ටත්, ගෝඨාට සහ සජිත්ටත් නොකියා කාලෝ නික්ම ගියේ ය

Must read

සිය ජීවන පැවැත්මෙන් ම මිථ්‍යාවට අභියෝග කළ, කුඩා කල දැඩි කතෝලික පරිසරයක හැදුණු වැඩුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා නික්ම ගියේ මළ සිරුරුවලින් පවා ලකුණු දමා ගන්නා නිර්ලජ්ජිත සටකපට දේශපාලනඥයන්ට කට අරින්නට ඉඩක් නොතබමිනි. සදාකාලික ජීවිතයක් පිළිබඳ මත්ද්‍රව්‍ය ජනතාවට එන්නත් කැර ඔවුන් ආත්මීය වහලූන් බවට පත් කොට පාලකයන්ගේ රූකඩ බවට පත් කිරීමේ ඵෙතිහාසික කොන්ත‍්‍රාත්තුව බාර ගෙන සිටින පූජක පැළැන්තිය තුෂ්ණිම්භූත කරමිනි. ඒ හැමටත් වඩා අන්ධ භක්තික ජනතාවට තම මිථ්‍යා විශ්වාසයන් ගැන ගැඹුරින් සිතන්නට මහා අවකාශයක් විවර කරමිනි. හර බර, පැණ සර, රස බර, විදු හුරු වදනින් ජන නැණැස පෑ¥ මහාචාර්ය කාලෝ සිය පණ සුන් සිරුරින් ද එ බඳු ම මෙහෙයක් කොට රාගම, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මෘත ශරීරාගාරය තුළ සැඟවී ගියේ මිථ්‍යාව නැමැති පර්වතය සුන් කරන හෙණ පහරක් ඒ මත පතිත කරමිනි.


රාජ්‍ය ගෞරව සහිත ව අවමංගල්‍යයකට සියලූ සුදුසුකම් ලබා සිටි කාලෝ සැබෑ අපිස් ගුණයෙන් පිරුණේ, ඒ හිස්, අරුත් සුන් ගරු බුහුමන් අලූයම ලූ කෙළ පිඬෙව් ප‍්‍රතික්ෂේප කරමිනි. මරණය යනු සිය කාබනික සිරුර අකාබනික බවට පත් වීමේ ඇරැුඹුම බව භෞතිකවාදී ව සිතා සිය පණ සුන් සිරුරට කළ යුතු දෑ තීරණය කැර තිබුණේ බොහෝ දේ ‘අත් හරින’ බවට පූච්චානම් බස් දෙඩූ දේශපාළුවන්ට තරු වීසි වන අතුල් පහරක් දෙමිනි.


කාලෝගේ සිරුර කැබැලි කොට වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ කායික විද්‍යා ඥානය පුළුල් කරන්නට යෙදෙවෙනු ඇත. මෙහි දී සිහියට එන්නේ 1988-89 භීෂණ සමයේ කැරැුලිකරුවන් කාලෝ ඝාතනයට සැරදෙන බව දැනගත් විට ඔහු කළ උද්වේගකර ප‍්‍රකාශය යි. සැලැසුම එන්නේ වෙද විදුහල් සිසුන්ගෙන් ම බව දැන ගත් ඔහු ආදරයෙන් ඉල්ලා සිටියේ තමා මරා දැමුණොත් තම සිරුර ද කපා-කොටා සිය දැනුම වැඩි කැර ගන්නා ලෙස යි!


කාලෝගේ පණ සුන් සිරුර කොළඹ නගරයේ මාර්ග දිගේ රස්තියාදු ගැස්සෙව්වා නම් මිනී පෙට්ටියට කර ගසන්නට දේශපාලකයන්, කලාකරුවන් පොරකනු ඇත. සිරිසේනත්, මහින්දත්, ගෝඨාත්, සජිතුත් පෙරමුණේ සිටිනු ඇත. ඔවුන්ගේ සොවින් බර නුවන් රූපවාහිනී තිරයේ දිස් වනු දක්නා ජනතාව ‘මේ නම් කොතරම් දැහැමි, සිල්වත් මිනිසුන් දැ’ යි පහන් සංවේගයට පත් වෙනු ඇත!


කාලෝගේ අඹු දරුවන් සනසන දසුන් දක්නට හැකි වනු ඇත. එසේ රස්තියාදු කැරෙන කාලෝගේ පණ සුන් සිරුර ප‍්‍රසිද්ධ ස්ථානයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදු කෙරුණා නම් කාලෝගේ බුද්ධියට, ප‍්‍රතිපත්ති ගරුක භාවයට අලගු තබන්නටත් බැරි දේශපාලන පතෝලයන් කාගෙන් හෝ අසා දැන ගත් හෝ ලියවා ගෙන පාඩම් කැර ගත් ගුණ කථන එහි දී වමාරනු ඇත.
ඒ සියල්ලට තිත තබා සිය පණ සුන් සිරුරින් ද විදුහුරුබව පෑ කාලෝ සුන්දර මිනිසෙකි.x

x නීල් ක‍්‍රිස්ටෝෆර්

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි