No menu items!
26.2 C
Sri Lanka
28 March,2024

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම

Must read

 

 

කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත් සිරිසේන – මහින්ද බල හවුල 2015 ජනවාරි 8 හැටදෙලක්ෂයේ ජනවරමට පයින් ගසමින් බලය තහවුරු කරගනිමින් සිටියි. පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් පැරදීම හෝ ව්‍යවස්ථාවේ ගරුත්වය හෝ තමන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නැතිකම හෝ නොතකා දිගටම බලයේ එල්ලී සිටින ගමන් මන්ත්‍රීවරුන් මිල දී ගැනීම යළි ආරම්භ කර තිබේ. වසන්ත සේනානායක හා සුරේෂ් වඩිවේල් වැනි ලජ්ජා විරහිත ප්‍රාණීන් ආපසු යන්නේ ගත් මුදල් නිසා ඔවුන් මුහුණ දෙන තර්ජන නිසා විය හැකි ය.

සදාචාරයක්, ආචාරධර්මයක් නැති ජනාධිපතිවරයකුට බලය ලැබුණු විට විධායක ජනාධිපති ධුරය ඔස්සේ සිදු විය හැකි නරකම දෙය පිළිබඳ සජීවීකරණයක් මෛත්‍රීපාල සිරිසේන විසින් සපයමින් සිටියි. මෙය වනාහි විධායක ජනාධිපති ක්‍රමය පමණක් නොව, සමස්ත සමාජ ක්‍රමය ම උඩු යටිකුරු කර වෙනස් කිරීමට පවා අවශ්‍ය නම් යොදාගත හැකි විප්ලවීය අවස්ථාවක් බව අපි කලින් ලිපියෙනුත් පෙන්වා දුන්නෙමු. එහෙත්, ලංකාවේ සමාජය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන විශ්වාසය මුළුමනින් ම නැති කරගෙන නැති බවත්, තවමත් තත්වය යහපත් අන්දමින් වෙනස් කරගැනීම කෙරෙහි බලාපොරොත්තු සුන් කරගෙන නැති බවත් ජනතාවගේ ඉවසීමෙන් පෙන්නුම් කෙරේ. හමුදා මැදිහත්වීමක් නොවීමෙන් හමුදාවල විනය පිළිබඳ යම් ඉඟියක් ලැබේ. වාමාංශික ඊනියා විප්ලවීය බලවේගවල ඉවසීම වනාහි අන් යමක් නොව කිසිවක් කරකියාගත නොහැකි දුබලකමයි. මේ මොහොතේ පවා ක්‍රම විරෝධී ප්‍රතිරෝධයක් පළවන්නේ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි එක්සත් ජාතික පක්ෂයෙනි. අරලියගහ මන්දිරය අත්හැර නොයා සිටින්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වීදියේ සටන් කරන්නේත් එජාපයයි. ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය අභියෝගාත්මක තීරණ ගනිමින් මධ්‍යස්ථ සමාජ බලවේග ලෙස ඉදිරියට එමින් තිබීම අර්බුදයේ එක් සාධනීය ප්‍රතිඵලයකි. දෙමළ ජාතිකවාදය කෙතරම් දුර්වල අඩියක ද යන්න ද මෙම අර්බුදය හමුවේ ඉදිරි පියවරක් තබන්නට ඔවුන්ට නොහැකි වීමෙන් පෙනේ. කුමන්ත්‍රණකාරීන්ට ද සිය අරමුණු ඉටු කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ඔවුන් තැබූ පියවරට හෝ ජන ප්‍රසාදයක් නැති බව පැහැදිලිව පෙනෙන බැවිනි. එහෙත්, බලය අතේ ඇති මෙම පිරිස තත්වය වෙනස් කිරීමට යුහුසුලු වනු ඇත.

මහමැතිවරණයක බලාපොරොත්තු අතහැර දිගට ම අගමැතිකමෙහි සිටීමේ උවමනාවක ඉඟි ද මේ වන විට මහින්ද රාජපක්ෂ වෙතින් පළ වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසුරුවාහැරීමට ගත් පියවර අනුමත කළහොත් එමගින් කියවෙන්නේ ඊළඟ පාර්ලිමේන්තුව ද ජනාධිපතිට ඕනෑම වේලාවක විසුරුවා හැරිය හැකි බවයි. එවැනි තීන්දුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර මහින්ද ගන්නේ කුමට ද? ජනාධිපති සිරිසේන දැනටමත් පෙන්වා දී තිබෙන කරුණක් වන්නේ කාට බහුතර විශ්වාසය තිබුණත්, අගමැති ධුරය සඳහා පත් කරනු ඇත්තේ තමන්ට කැමති අයෙකු බවයි. ඊළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරය ඔහු මහින්ද රාජපක්ෂට ම ලබා දෙනු ඇතැයි තිබෙන වගකීම් සහතිකය කුමක් ද? සිරිසේන යනු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව ද මහින්ද රාජපක්ෂට කොකා පෙන්වූ අයෙකු බව ඔහුට අමතක නැති බව නිසැක ය. ව්‍යවස්ථා විරෝධීව හෝ දැන් සිරිසේන මහින්ද අගමැති ධුරයට පත් කර හමාර ය. ව්‍යවස්ථාව අනුව දැන් ඔහු ඉවත් කරන්නට සිරිසේනට බැරි ය. මහින්ද මෙම වාසිය ගන්නට ඉඩ තිබේ. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් හැකිනම් 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තත්වයන් නැවත පිහිටුවාගන්නට ඔහු උත්සාහ කරනු ඇත.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතිකාවක් නැවත ආරම්භ කළ යුතු ය. එය ජවිපෙ විසින් ගෙන එන ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද නැතිනම් තවදුරටත් සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලබන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න සාකච්ඡා කළ හැකි ය. මේ මොහොතේ තිබෙන ගැටලු‍වට කාටත් දිනුම ලැබෙන සම්මුතියක් නිර්මාණය කරගැනීමට ද ඒ හරහා උත්සාහ කළ හැකි ය. කුමන තත්වයක් යටතේ වුව, විධායක ජනාධිපති ධුරයේ මෙම අත්තනෝමතික බලතල තවදුරටත් කප්පාදු කළ යුතු බව පැහැදිලි ය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර වඩා සාධාරණ බල තුලනයක් නිර්මාණය කරගත යුතු ය.

මෙම සංදර්භය තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගැනීම සඳහා ඇත්තෙන් ම අවශ්‍ය වන්නේ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයකි. බලය උරගා බලන්නට අවශ්‍ය නම් පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි ය. එහෙත්, පසුගිය සමයේ පළාත් සභා මැතිවරණ කල්යාම පිළිබඳ විස්සෝප වූ අය දැන් ඒ ගැන කතා කරන්නේවත් නැත. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වන බලතල බෙදාගැනීම සංකල්පයක් ලෙස විහිළුවට ලක් කරන කාරණයකි. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා බලය බෙදාගැනීමට අකැමැති පිරිස් අතින් ම පළාත් සභා බලතල මේ අන්දමින් විහිළුවට ලක්වීම දෙමළ ජාතිවාදී බලවේගවලට වාසිදායක ය. පළාත් සභා බලතලවල නිස්සාරත්වය මෙමගින් නිතැතින් ම පෙන්නුම් කෙරේ. පළාත් සභා ඉක්මවා යන බලය බෙදාගැනීමක අවශ්‍යතාව එමගින් තහවුරු කෙරේ. මේ මොහොතේ පළාත් සභා තවදුරටත් කල් දමන්නට යමෙකු කටයුතු කරන්නේ නම්, ඒ අය පැහැදිලිව ම ෆෙඩරල්වාදියෝ ය.

පළාත් සභා මැතිවරණය ද වත්මන් ව්‍යවස්ථා අර්බුදයට නම් විසඳුමක් නොවේ. කළ යුතුව තිබෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීමයි. තමන්ට ජනවරමක් ලබාදුන් ජනතාවට පිටුපා, එම ජනවරම විසින් පරාජය කරන ලද ප්‍රතිවාදියා සමග සන්ධානගත වූ ජනාධිපති සිරිසේන තම අත්තනෝමතික තීරණය ජනතාව ඉදිරියේ පරීක්ෂා කරගත යුතු ය. එසේම, ඉදිරි ජනාධිපතිවරණයක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනවරමක් බවට ද පත් කරගත හැකි ය.

මේ අතරතුර කාලය තුළ රාජ්‍ය පාලනය ගෙන යාමට මහින්ද රාජපක්ෂට ඉඩ දීම ඔහු පිළිබඳ මිථ්‍යාව අවසන් කිරීමට හොඳම ක්‍රමයයි. ගෝලීය හා දේශීය ආර්ථික අභියෝගයන් මැද රජයකට කටයුතු කළ හැකි සාමාන්‍ය ආකාරයට පසුගිය රජය කටයුතු කරගෙන ගියේ ය. ප්‍රාතිහාර්ය නොපෑ හැකි බව ඔවුහු දැන සිටිය හ. එහෙත්, අතිවිශාල වශයෙන් ණය ලබාගනිමින් මහින්ද රාජපක්ෂ පසුගිය සමයේ කළ ඊනියා සංවර්ධනයේ ඇස් ගිනිකණ වැටීම නිසා ඔහුට එවැනි ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාවක් ඇතැයි තවමත් ඇතැම් ලාංකිකයෝ විශ්වාස කරති. එහෙත්, සරලව කිවහොත් මේ රටේ දේශපාලන බලය හොබවන දැවැන්ත, කම්මැලි මධ්‍යම පන්තිය නඩත්තු කිරීම සඳහා පවත්වාගෙන යන මෙම අතිවිශාල, අකාර්යක්ෂම රජය නඩත්තු කිරීම සඳහාත්, එම රජයේ පැවැත්ම සාධාරණීකරණය කරගැනීම සඳහා කරන ලද සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය ආපසු ගෙවීම සඳහාත් ණය ගැනීම හා තව තවත් ණය ගැනීම සඳහා කළ යුතු දේ ගැන කල්පනා කිරීම හැර ආර්ථිකය සම්බන්ධයෙන් ‘මුදල් ඇමති‘ මහින්ද රාජපක්ෂට කළ හැකි වෙනත් දෙයක් නැත.
උවමනාවෙන් ඇති කරගන්නා ලද දේශපාලන අස්ථාවරත්වයත්, ගෝලීය මූල්‍ය තත්වයනුත් හේතුවෙන් රජයට ගෝලීය මූල්‍ය වෙළඳපොළෙහි තිබෙන විශ්වාසය අඩු වෙමින් තිබේ. රටට ඇදී එන ඍජු විදේශ ආයෝජන ඉදිරියේදී තවත් අඩු වන්නට ඉඩ තිබේ. ඒ වගේ ම ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ලැබෙන ණය ප්‍ර‍මාණය ද අඩු වෙන්නට පුළුවන. ශ්‍රී ලංකාව ප්‍ර‍ධාන වශයෙන් ම විදේශ ණය ලබාගන්නේ ගත් ණය ගෙවන්නටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් 2019 ජනවාරි පළමු කාර්තුවේ කල් පිරෙයි. ජනවාරි 15 වන විට ඩොලර් බිලියනයකුත් අප්‍රේල් වන විට ඩොලර් මිලියන 500කුත් ආපසු ගෙවිය යුතුය. ඒ ණය ගෙවන්නට යන්නේ කෙසේ ද යන්න විමසීමෙන් මහින්ද රාජපක්ෂගේ සීමාවන් තේරුම් ගත හැකි ය. චීන සංවර්ධන බැංකුවෙන් වාරික ණයක් ලෙස ඩොලර් බිලියනයක් හෝ බිලියන් 1.5ක් ලබාගන්නා බව මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි පසුගියදා පැවසී ය. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දී ලබා ගන්නා මුදල වන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1න් තව ඩොලර් මිලියන 645ක් ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ලැබෙන්නට නියමිතයි. කලින් ගත් මුදලිනුත් කළේ ණය ගෙවන එකයි. මේ මුදලු‍ත් යොදවන්නේ ණය ගෙවන්නට ම ය. මහින්ද රාජපක්ෂට ප්‍රාතිහාර්ය පෑම සඳහා ඇති හැකියාව ගැන ලෙලවන්නට තිබෙන්නේ චීන කොඩිය පමණි. සෙසු ජාත්‍යන්තර සම්බන්ධතා ඔහුට ආරම්භ කරන්නට සිදු වී තිබෙන්නේ බිංදුවේ සිට මහත් අභියෝග රැසක් මැද්දේ ය. චීනය මහින්ද රාජපක්ෂ රජයට සුවිශේෂ ආධාරයක් කරනු ඇතැයි සිතන අය දැනගත යුතු කාරණයක් වන්නේ චීනයෙන් ලැබෙන්නට ඉඩ තිබූ ආධාර උපකාර රනිල් වික්‍රමසිංහ පාලනය තුළ ද ලැබෙමින් තිබුණු බවයි.

මහින්ද රාජපක්ෂ මිථ්‍යාව සමග ම ගෝඨාභය මිථ්‍යාව ද අවසන් කර දැමිය යුතු ය. ලංකාවේ ජනතාව තම ඉරණම විසඳාගැනීමේ අභියෝගයට තමන් උර දිය යුතු ය. මැජික්කාරයන්ට ආයුබෝවන් කිව යුතු ය. ■

අජිත් පැරකුම් ජයසිංහ

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි