No menu items!
20.9 C
Sri Lanka
29 March,2024

පොලිසිය නොසොයා සිටින රංගන ශිල්පී උපාලි කීර්තිසේනගේ අතුරුදන්වීම

Must read

 

 

2016 පෙබරවාරි 24දා ජාඇළ ඒකල, රජ මාවතේ, පොළ හන්දියට මීටර් 50කට ආසන්න දුරකින් කුණුගොඩක් අසල කාණුවේ තිබී නරක්වූ මළසිරුරක් ජාඇළ පොලීසිය විසින් ‍සොයාගනු ලැබීය. දින 4ක් තිස්සේ අවට ප‍්‍රදේශයේ පවතින අධික දුර්ගන්ධය නිසා එම කුණුගොඩට ගිනි තැබීමට ඊට යාබද නිවසක කාන්තාවක උත්සාහ කර තිබිණි.

‘ඉවසාගන්න බැරිව එන කුණු ගඳ නිසා මම කුණුගොඩට ගිනිතිබ්බා. පෝර උරයක දාලා තිබුණ දෙයක් භූමිතෙල් දාලාත් පිච්චෙන්නේ නැති නිසා උරය කෝටුවකින් කූරුගාලා ලිහලා බැලූ‍වා, පණුවෝ ගහපු මිනී ඔළුවක් මතුවුණා. ඒ ගැන අපි ජාඇළ පොලීසියට කිවුවා.’‍ ඇය ප‍්‍රකාශ කළාය.

මෙම සිදුවීමට දින 14කට පෙර, ඉහත සඳහන් නාඳුනන මළසිරුර හමුවූ ස්ථානයට කිලෝමීටරයකටත් අඩු දුරකින් වූ ඒකල ගුවන් හමුදා කඳවුරට යාබද ගේ‍්‍රලයින් වත්තේ, රූපලාවන්‍යාගාරයක රැුඳීසිටියදී රංගන ශිල්පී උපාලි කීර්තිසේන අතුරුදහන් විය. මෙම රූපලාවන්‍යාගාරය උපාලි ඇතුළු පිරිස නිතර රැස්වීමටත් මත්පැන් සාද පැවැත්වීමටත් භාවිත කළ බව ඒ අවට පිරිස් පවසති. එමෙන්ම උපාලි අතුරුදහන් වීමට පෙර සතියක කාලයක් එම ස්ථානයේ රැදී සිට තිබේ.

මෙය තවත් අතුරුදන්වීමක් පිළිබඳ කතාවකි. අපිට දැනගන්නට තිබෙන ලෙස මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ යම් තාක් දුරකට කෙරී ඇත. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ දැන් මේ පිළිබඳව පොලිසිය නිහඬය. එනිසා අපි මේ අතුරුදන් කිරීම පිළිබඳව කතා කරන්නට සිතුවෙමු.

උපාලිගේ සොයුරිය කියන කතාව
‘2016 පෙබරවාරි 3දා මල්ලි ගෙදරින් ගියා. ඒ යන වෙලාවේ කිවුවා මම නිලංගලාත් එක්ක අනුරාධපුරයේ යනවා ගිහින් දවස් දෙකකින් එනවා කියලා. ඒ කිවුව විදිහට එයා ආවේ නැති නිසා මම පෙබරවාරි 7 වෙනිදා උපාලි‍ට කතා කළත් ෆෝන්එක වැඩ කළේ නෑ. මම ඒ වෙලාවේ නිලංගට කතාකරලා ඇහුවා මල්ලි කෝ කියලා. නිලංග කිවුවා එයා යාළුවො වගයක් එක්ක සිරීපාදේ ගියා කියලා. පෙබරවාරි 10 වෙනිදා හවස නැවත කෝල් කළාම ෆෝන්එක රිංවෙලා කට් වෙන්න පටන්ගත්තා. නමුත් උපාලි මල්ලි එදා උදේ අපේ ඥාති වෙන නංගි කෙනෙකුට කතාකරලා තියෙනවා, නිලංගට දුන්න සල්ලි වගයක් ගැන අහන්න. ඒ වෙලාවේ නිලංගත් එතැන ඉඳලා තියෙනවා. උපාලි මල්ලි එයාට කියලා තියෙනවා නිලංගගෙන් සල්ලිත් ඉල්ලගන්න, හෙට උදේ ‍(පෙබරවාරි 11) එනවා කියලා. නමුත් එයා කිව්ව විදියට සල්ලි දෙන්න ඇවිත් නෑ. ෆෝන්එක වැඩ කරන්නේත් නෑ. අවසානයට මම නිලංගගෙන් ඇහුවා මල්ලි කවුරු එක්කද සිරීපාදේ ගියේ කියලා. එයාට උත්තරයක් තිබණේ නෑ. පස්සේ කිවුවා කැලණියේ යාළුවෙක් එක්ක ගියා කියලා. ඒ හින්දා මල්ලිගේ අතුරුදහන් වීම ගැන නිලංග ලක්සිරිව සැකයි කියලා 2016 පෙබරවාරි 15 දා වැලිකඩ පොලීසියට පැමිණිලි කළා. පස්සේ මල්ලි අතුරුදහන් වෙච්ච දිනවල ජාඇළ පැත්තේ නාඳුනන මළසිරුරක් හම්බවුණා කියලා අපිට පොලීසියට එන්න කිවුවා. අවසානයේ ඇටකටු වගයක් පෙන්නන්න කියලා රාගම ඉස්පිරිතාලෙට අපිව එක්කගෙන ගියා. නමුත් රාගම ඉස්පිරිතාලෙන් කිවුවා එහෙම දෙයක් ගෙනාවේ නෑ කියලා. අපි ආපහු හැරිලා ආවා. 2017 අගෝස්තු 8 වෙනිදා නැවත් ඞීඑන්ඒ පරීක්ෂණයක් කරන්න ජාඇළ පොලීසියෙන් අම්මාව එක්කගෙන එන්න කිවුවා. නමුත් ජින්ටෙක් ආයතනයට යවපු සාම්පල්වල වාර්තාව අවුරුද්දක් ගිහිල්ලාත් තවම ආවේ නෑ.”‍

මේ අප මුලින් කියූ මළසිරුර මේ අතුරුදන් වීමට ගැටගැසෙන අයුරුය. නිලංග ලක්සිරි යනු උපාලිගේ සමීපතමයෙකි. උපාලි මුදල් පොලියට දුන්නේ මේ කියන නිලංග ලක්සිරි හරහාය. එයත් මතක තබාගනිමින් අපි මෙය කියවමු.

උපාලිගේ මෙම අතුරුදහන්වීමට සැකකරන නිලංග ලක්සිරි, තමා උපාලිත් සමග අනුරාධපුරයේ යන බවට 2016 පෙබරවාරි 4 වෙනිදා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ. එමෙන්ම 2016 පෙබරවාරි 7දා දිවුලපිටිය ප‍්‍රදේශයේ පැවති සංගීත ප‍්‍රසංගයකට උපාලි කීර්තිසේන, නිලංග ඇතුළු මිතුරන් පිරිසක් සමග සහභාගි වී ඇත. ඊට දින දෙකකට පසු පෙබරවාරි 9 දින ඒකල ප‍්‍රදේශයේ ඔවුන් නැවතී සිටි නිලංගට අයත් රූපලාවන්‍යාග ාරයේදී රාත‍්‍රී සාදයක් පවත්වා ඇති අතර එම සාදයේදී ලබාගත් ඡුායාරූප කිහිපයක්ද නිලංග සිය මුහුණුපොතට ඇතුළත් කර ඇත. එම ඡුායාරූපවලින්ද උපාලි, නිලංග සහ මිතුරන් සමග සිටි බවට තහවුරු වෙයි. එමෙන්ම ඒ අසල වෙළෙඳසැලක ව්‍යාපාරිකයෙකුගේ ප‍්‍රකාශයට අනුවද තහවුරු වන්නේ උපාලි පෙබරවාරි 9 හවස්වරුවේ හා 10 වෙනි දින උදේ කාලයේ රූපලාවන්‍යාගාරයේ රැුඳීසිටිනු දුටු බව හා ඔහුට අවශ්‍ය යමක් ලබාගැනීමට තම වෙළෙඳසැලට පැමිණි බවය.

‘‍ඔය කියන නළුවා එදා තිබුණ පාටිය දවසේ හිටියා. සමහර දවස්වලට ඔතන සැලූ‍න් එකේ කට්ටිය නැවතිලා ?ට පාටි දානවා. පෙබරවාරි 10ට පස්සේ නම් කාවවත් එච්චර දැක්කේ නෑ. පස්සේ ඔය සැලූ‍න් එක කරපු කෙනාට මොකද්ද ප‍්‍රශ්නයක් ඇවිත් පොලිසියට එන්න කිවුවා කියලා ආරංචියක් ආවා.’‍ මේ වෙළෙඳසැලේ අයිතිකරු පවසන කතාවය.

මෙම ප‍්‍රකාශවලට හා තොරතුරුවලට අනුව හෙළිවන කරුනු මගින් තහවුරු වන්නේ උපාලි අතුරුදහන් වන්නේ පෙබරවාරි 10 දිනයේ බවයි. නැතහොත් ඔහු සිරීපාදේ ගිය බවට ඔහුගේ මිතුරා කළ ප‍්‍රකාශයෙන් දින 4කට පසුව බවයි. එමෙන්ම මෙම සිදුවීමෙන් පසු උපාලිගේ ඥාතීන්ගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් ජාඇළ පොලීසිය විමර්ශනයක් පවත්වා ඇති අතර එහිදි උපාලිගේ දූරකථන අංකය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන ඇත. එම වාර්තාවෙන් තහවුරු වන්නේද උපාලි‍ අවසන් වරට ඇමතුමකට පිළිතුර දුන් අවස්ථාවේ, සංඥා ලැබී ඇත්තේද ඒකල මෙම ප‍්‍රදේශය ආවරණය කරන දූරකථන සංඥා කුලූනුවලින් බවය. එමෙන්ම පෙබරවාරි 15 වන දින පසුවන තුරුත් ‍මෙම කුලූනින් 0714802452 දූරකතන අංකයට සංඥා ලබාදී, පසුව විසංධිවී ඇති බව හෙළිව තිබේ.

මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් උපාලිගේ ඥාතීන් සැකකරන මිතුරා නිලංග, උපාලිට හමුවී ඇත්තේ රඟපෑම්වලට අදාල රූපලාවන්‍ය කටයුතුවලදීය. ඔහු උපාලිගේ වේශ නිරූපණ ශිල්පියා වශයෙන්ද කටයුතු කර තිබේ. මෙම හිතමිතුරුකම මතම උපාලි හා නිලංග අප මුලින් කියූ ලෙස පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් තිබේ. එහිදි උපාලිට අයත් මුදල්වල අයිතිකරු ලෙස පෙනීසිටිමින් නිලංග අවශ්‍යතා මත විවිධ පුද්ගලයන්ට පොලිය ලබාදෙන පදනමින් මුදල් ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අනාවරණය කළ ආකාරයට නිලංග උපාලිගෙන් ලබාගත් මුදල ලක්ෂ 8ත් 10ත් අතර ප‍්‍රමාණයකි. එමෙන්ම උපාලිගෙන් නිලංග තම අවශ්‍යතාවන් වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ලබාගෙන ඇතත්, ඒ කොපමණ මුදල් ප‍්‍රමාණයක්ද යන්න හෙළිවී නැත. ඇතැම් මුදල් උපාලි සිය මිතුරාට ලබා දී ඇත්තේ තම ඥාතීන්ට අයත් බව පවසමිනි. කෙසේ වෙතත් පොලි ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් මුදල් හා උපාලිගෙන් ලබාගත් මුදල් නැවත ආපසු ගෙවීමට උපාලිගේ මිතුරා වන නිලංගට උනන්දුවක් තිබී නැත.

‘‍ඔය නළුවාගේ අතුරුදහන් වීමට හේතුව මුදල් ගනුදෙනුවක් බවට ලොකු සැකයක් තියෙනවා. ‍එයා අතුරුදහන්වෙන කොට ලක්ෂ තුනහමාරක විතර රත‍්‍රන් භාණ්ඩ එයා ළඟ තිබිලා තියෙනවා. රජ මාවතේ පෝර උරයක දාලා තිබුණ බොඩි එක සියයට අනූනමයක්ම උපාලිගේ වෙන්න පුළුවන්. ඒ ගැන පරීක්ෂා කරන්න ජින්ටෙක් ආයතනයට යැවුවා. මම දැන් ජාඇළ පොලීසියේ නැති නිසා ඒ ගැන මොකද වුණේ කියලා දන්නේ නෑ.’ මෙලෙස පවසන්නේ උපාලි අතුරුදන්වන කාලසීමාවේ ජාඇළ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ සේවය කළ නිලධාරියෙකි. මේ ඝාතනය සහ මුදල් පොලියට දෙන ව්‍යාපාරය එකට ගැටගැසී ඇති බව පෙනුණත් ජාඇළ පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ දිගට කළේ නැත. උපාලි පදිංචිව සිටි ප‍්‍රදේශයට අදාළ වැලිකඩ පොලීසියද මේ අතුරුදන් කිරීම පිටුපස එතරම් උනන්දුවකින් දුවන්නේ නැත. ඒ ඇයි, කාගේ උවමනාවටද සොයා බැලිය යුතුය.

අද ගොළු බිහිරි පොලීසිය
හිතාමතාම වැලිකඩ පොලීසිය උපාලිගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් විමර්ශන මගහරින නිසා උපාලිගේ සොයුරිය මිරිහාන පොලීසියටත්, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයටත් පැමිණිලිකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාඇළ පොලීසියද උපාලිගේ මවගෙන් ප‍්‍රකාශ සටහන් කරගන තිබේ. තම සහෝදරයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ ගැන කරුණු විමසීම සඳහා උපාලිගේ සොයුරිය ගෙවුණු වසර තුනකට ආසන්න කාලය තුළ වැලිකඩ පොලීසියට පැමිණි වාර ගණන ඇගේ මතකයේ නැතත් ඇය පවසන්නේ තමන් පහළොස් වතාවකටත් වඩා වැලිකඩ පොලිසියට පැමිණ තම සොයුරාගේ අතුරුදහන් වීම ගැන දැමූ පැමිණිල්ල ගැන විමසා සිටි බවයි.

එහිදී වැලිකඩ පොලීසියෙන් දී ඇති පිළිතුර වන්නේ ‘ඔයාලා ලොකු තැන්වලට පැමිණිලි කරන්නේ අපි මේ ගැන හොයන්නේ නෑ කියලා හිතලානේ, ඒ හින්දා එයලාටම කියලා කරගන්න’ යනුවෙනි. ඇය මිරිහාන පොලීසියට පැමිණි වාර ගණන දහයකි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගිය වාර ගණන දොළහකි. ජාඇළ පොලිසියටද ඇය, සිය රෝගාතුර වී සිටින මව සමග ගොස් අවස්ථා තුනකදී තම සහෝදරයාගේ අතුරුදහන්වීම සමන්ධයෙන් විමසා ඇතත්, ඊට නිසි පිළිතුරක් ලබාදීමට පොලීසියේ නිලධාරීන් කටයුතු කර නැත. එමෙන්ම මේ සම්බන්ධයන් පොලිස් මූලස්ථානයට, පොලිස් කොමිසමට හා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර ඇත. එහෙත් උපාලි කීර්තිසේනගේ මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකළ බවක් පෙනෙන්ට නැත.

2016 පෙබරවාරි 15 දින වැලිකඩ පොලීසියට කළ පැමිණිල්ලේ අනුරාධපුරයේ ගිය බවට සඳහන් විය යුතු වුවත් එහි සඳහන් වන්නේ කතරගම ගියා යනුවෙනි. ඉන් තහවුරු වන්නේ පැමිණිල්ල සටහන් කිරීමේ සිටම මේ සම්බන්ධයෙන් පැවති නොසැලකිලිමත් බවයි. 2016 අපේ‍්‍රල් 24 ඉරිදා පුවත්පතක් මෙම විමර්ශනය සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිකඩ පොලීසිය පවසන්නේ උපාලි අතුරුදහන්වී මාසකයට පසු රාගම දුම්රිය ස්ථානයේ රැඳීසිටිනු දුටු අයෙකුද පොලීසියට ප‍්‍රකාශයක් ලබාදී ඇති බවයි. එම තත්වය තුළ වැලිකඩ පොලීසිය මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ඉතාම අපැහැදිලිය. වැලිකඩ පොලීසිය මේ කතාවේ එන නිලංග පිළිබඳව වුවද එතරම් සැලකිල්ලෙන් බලන්නේ නැත. ඔහු සම්බන්ධයෙන්ද නිසි ලෙස විමර්ශනයක් සිදුකර නොමැති බව හෙළිව තිබේ. වැලිකඩ පොලිසිය පවසන්නේ, පොලිස් මූලස්ථාන නියෝගය පරිදි මෙම විමර්ශන කටයුතු පැලියගොඩ අපරාධ කොට්ඨාසයට පවරා ඇති බවය.

මම යන්නම යනවා උපාලි කියයි.
‘‍දැන් අවුරුදු දෙකකටත් වැඩියි. මම හිතන්නේ උපාලි ආපහු එන එකක් නෑ. එදා (පෙබරවාරි 4) අපි අනුරාධපුරයේ ගිහිල්ලා දවසින් ආවා. එදා ඉඳලා උපාලි මා එක්ක සැලූ‍න් එකේ හිටියා. හත්වෙනිදා අපේ යාළුවෙකුට කියලා තියෙනවා, මම දොලොස් වෙනිදායින් පස්සේ යන්නම යනවා ආයෙත් එන්නේ නෑ කියලා. නමවෙනිදා අපි පාටියක් දැම්මා. උපාලි ඒකටත් හිටියා. එයා යන්න ගිය හේතුව අපි දන්නේ නෑ. අවසානයේ දොලොස්වෙනිදා එයාගේ බෑග් එකත් අරගෙන යාළුවෙක් එක්ක සිරීපාදේ යනවා කියලා යන්න ගියා. යන වෙලාවේ එයාගේ අතේ ෆෝන්එකත් තිබුණා මම දැක්කා. මේ අතුරුදහන් වීමට උපාලිගේ නෑයෝ සැක කරන්නේ මාවයි. නමුත් මම දන්න දේවල් මම පොලීසියට කිවුවා. අන්තිමට මාව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ගෙනිහින් දවස් තුනක් හොඳටම ගැහුවා.’ මෙලෙස පවසන්නේ නිලංගය.

උපාලිගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කරුණු සෙවීමට ඔහුගේ හිතවත් රංගන ශිල්පියෙකු වූ රොජර් සෙනෙවිරත්න දැඩි වෙහෙසක් දරා තිබිණි. ඒ වෙනුවෙන් ඔහු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අවධානය යොමු කිරීමට දිගින් දිගටම කටයුතු කරමින් උපාලිගේ පවුලේ අයද වරින්වර දැනුවත් කර තිබේ. උපාලිගේ මෙම අතුරුදහන්වීම සම්බන්ධයෙන් රොජර් සෙනවිරත්න අප සමග අදහස් දැක්වූයේ මෙසේය. ‘මම සෑහෙන්න මේ ගැන සොයන්න උත්සහ කළා. හිත හොඳ සහෝදර කලා ශිල්පියෙක්. මේ සිද්ධිය පොලීසිය සතපහකට ගණන්ගත්තේ නෑ. මම හිතන්නේ කලාකරුවන් වශයෙන් මේ ගැන අපි අවධානය යොමුකරන්න ඕනෑ. අපිටත් මේ දෙයම වෙන්න බැරිද? කවුද ඊට පස්සේ කතාකරන්නේ, උපාලිට මොකද වුණේ කියන එක අපි හොයාගන්න ඕනෑ. ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සාධාරණයක් කරන්න පොලීසියට බලපෑම් කරන්න ඕනෑ. සියලූම කලාකරුවන්ගෙන් මම ඉල්ලන්නේ මේ සඳහා එක් වෙන්න කියලායි.’‍

කෙසේ වෙතත් ඒකල රජමාවතේ හමුවූ නාඳුනන මළසිරුර උපාලි කීර්ති‍සේනගේද යන්න මෙතෙක් තහවුරු වී නැත. එහෙත් වෛද්‍ය නීරීක්ෂණවලට අනුව එම නාඳුනන පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ පහරදීම්වලින් බවට අනාවරණය වී තිබේ. එම හිස් කබලේ තැලූ‍ම් තුවාල පවතින බවට තහවුරු වී ඇති අතර හිස්කබලේ ඉදිරි කොටසේ වම්පසට මොට ආයුධයකින් පහරදීම නිසා දරුණු ලෙස එහි අස්ථි කොටස් බිඳීගොස් ඇත. එය පිරිමියකුගේ බවට රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සනාථ කර ඇත. මළසිරුර හමුවන විට අත්පා එතරම් හානි වී නැතත් ශරීරයේ කඳ කොටස දියවී ගොස් අටකැබලි මතුවී තිබේ. ඒ අනුව ඝාතකයන් මෙම නාඳුනන මළසිරුර යම් රසායනික ද්‍රව්‍යයක් යොදවා දියකර හරින්ට උත්සාහ දැරූ බවක් නිරීක්ෂණය වී ඇත. එයට හේතුව යම් හෙයකින් සිරුර හඳුනාගනීවිදැයි යන සැකය වන්නට පුළුවන්ය. එහෙත් ඞීඑන්ඒ පරීක්ෂණ මගින් මේ මළසිරුර කාගේදැයි සොයාගැනීම එතරම් අමාරු නැත.

එනිසා අප අසන්නේ ජින්ටෙක් ආයතනයට යවනු ලැබූ සාම්පල පිළිබඳ වාර්තාවද උපාලි වගේම අතුරුදන් වී තිබෙන්නේ ඇයිද කියාය. අපට නම් පෙනෙන්නේ නොපෙනෙන හස්තයක් මෙම පරීක්ෂණ පිටුපස ක‍්‍රියාත්මක බවය. පොලිස් ස්ථාන කීයක් නම් මේ අතුරුදහන්වීම පිළිබඳව මූලික විමර්ශන සිදුකර ඇතිද? එම ස්ථාන එකකටවත් මේ අපරාධයේ කොනක් සොයාගැනීමට නොහැකිවූවා යැයි සිතන්නට අමාරුය. එනිසා පොලිසිය මේ අතුරුදහන් කිරීමේ පරීක්ෂණ හිතාමතාම යටගසා ඇති බව කිව හැකිය.

ධම්මික ප‍්‍රියදර්ශන

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි