No menu items!
27.4 C
Sri Lanka
29 March,2024

පාර්ලිමේන්තුව කැඳවන්නට සූදානම් නැති ජනාධිපති සහ අනුගාමික සංඝයා

Must read

අප්‍රේල් 25 වැනිදා ත්‍රෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු භික්ෂු මණ්ඩලයක් මුණගැසුණු ජනාධිපතිවරයා ඔවුන් අමතා ප්‍රකාශ කළේ අලූත් පාර්ලිමේන්තුවක් පත්වෙන තුරු තමන්ට නැවත පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කිසිදු ව්‍යවස්ථාමය ඉඩක් නොමැති බවය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට විශාල බලතල ප්‍රමාණයක් ලබාදී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම ඔවුන්ගේ කාර්යයක් බවය.


මේ කතාවෙන් පෙනෙන්නේ එක්කෝ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව පිළිබඳව කිසිවක් නොදන්නා බවය. නැතිනම් දැනගෙන කරුණු මගහරිමින් කොවිඩ් ඌරා කැකුණ තලනවිට මඟුල් කන්නට බලාසිටින බවයග මේ උදාවී තිබෙන තත්ත්වය තුළ යෝජිත ජූනි 20වැනි දිනයේදීත් ඡන්දය පැවැත්වීමට හැකිවේදැයි නිශ්චිත නැත. එය එසේ වුණොත් එම දිනයේ සිට තවත් දීර්ඝ කාලයක් ඉදිරියට මැතිවරණ දිනය ගමන් කරනු ඇතග මේ ගෙවෙන දවස්වලට අදාළ රාඡ්‍ය වියදම් සඳහා ද හරි නම් පාර්ලිමේන්තුව හරහා මුදල් අනුමත විය යුතුය. එලෙස නොමැතිව ජනාධිපති නියෝග ප්‍රකාරව වටවංගු ගසමින් මුදල් වියදම් කිරීම නීතියට පටහැනි වනවා ඇත. එහෙත් අනීතික දේ දිගටම සිදුවෙනවාට ජනාධිපතිවරයා සහ ඔහු වටා සිටින සේනාව කැමති බව පෙනෙයි. එනිසා ඔවුන් එක පැත්තකින් පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැ යැයි කීමට සහ පාර්ලිමේන්තුව නොමැතිව තිබුණාටත් වඩා අපූරුවට රට පාලනය කළ හැකි බව පෙන්වීමට තමන් වටා සිටින සංඝ සමාජයද ඊනියා බුද්ධිමතුන්ද මාධ්‍යද උපයෝගී කරගනිමින් සිටී. එහිම එක පියවරක් ලෙස පසුගිය දා පැවති මෙම හමුව හැඳින්විය හැකිය.

මෙම හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව කැඳවන්න යැයි බලකරන පිරිස අන්තවාදී බෙදුම්වාදී කණ්ඩායමක් බවයග ඔවුන්ට ව්‍යවස්ථා අවුලක් මවා අධිකරණයට ගොස් නැවත රට තුළ අර්බුදයක් නිර්මාණය කිරීමේ උවමනාවක් ඇති බවය. මෙයින් පෙන්නේ මේ අවස්ථාවේ බෙදුම්වාදී සහ අන්තවාදී බිල්ලා මවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයෙන් එන ඉල්ලීම ඉවත දැමීමට ජනාධිපතිවරයා කැසකවන බවය. මෙම සාකච්ඡාව තුළ ප්‍රකාශයක් කරන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන භික්ෂුව ප්‍රකාශ කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව අනුමත නොකළ බැවින් එය බලාත්මක නැති බවය. එනිසා මැතිවරණ කොමිසම කරන කිසිදෙයක් නීතියට යටත් නැති බවය. එනිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව කිසිවක් කරන්නට ඕනෑ නැති බවය. (අවධාරණය මගේ) මේ භික්ෂුව මේ නොකියා කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරයකින් සම්මත නොවුණ නිසා එය බලාත්මක නැති බවය. එහි අනියමාර්ථය දැන් ක‍්‍රියාත්මක 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද යන්න අප මේ භික්ෂුගෙන් ඇසිය යුතුය.

අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ප්‍රථම ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීම වැනි කරුණු මෙම භික්ෂු සමාජය නොදන්නා බව මෙයින් පෙනෙයි. එහෙමත් නැතිනම් 18වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙත නැවත රට ආපස්සට ඇදගෙන යන්නට කරන ව්‍යාජ මත නිෂ්පාදනයකි මේ. මෙම සාකච්ඡාවේදී ප්‍රකාශයක් කරන මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි භික්ෂුව ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේ කිසිම ලෙසකින් නැවත පාර්ලිමේන්තුව කැඳවීමක් අවැසි නැති බවය. දැනට ජනාධිපතිවරයා අතින් කෙරෙන වැඩ බොහෝ හොඳ සහ ප්‍රතිඵලදායක බවය. අස්ගිරි පාර්ශ්වයේ වෙඬරුවේ උපාලි භික්ෂුව කරන ප්‍රකාශයෙන් මෙම හමුවේ සහ එහි හඬපට මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේ අභිමතාර්ථයන් කුලූගැන්වේ. එහිදී එම භික්ෂුව කියා සිටින්නේ පාර්ලිමේන්තුව තුළ හිටි 225 දෙනාගේම රාජකාරි තනි පුද්ගලයෙකු විසින් අති සාර්ථකව මෙහෙයවමින් ඇති බවය. මෙච්චර ව්‍යසනයක් වෙලත් කිසිම පුද්ගලයෙක් කන්න නැතිව මියගොස් නැති බවත් ය. ඔහු නොකියා කියන්නේ පාර්ලිමේන්තුව තිබුණා නම් මිනිසුන් මේ වෙලාවේ බඩගින්නේ මියෙන බවයග එනිසා පාර්ලිමේන්තුව නැති රටක් අහෝ සැපයි කියා ය.


අවසානයේ කියන්නට තිබෙන්නේ පාර්ලිමේන්තුව නොමැතිව මේ යන ගමන ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළා ඇති බවය. එනිසා මෙම ගමනේ කෙළවර ගැන පුරවැසියා බිය උපදවා ගත යුතුය. කොවිඩ් වසංගතය ලෝකය පුරාම ධනේශ්වර ඒකාධිපතිත්වයකට පාර පෙන්නමින් සිටීම තුළ අප මෙම සාකච්ඡා සම්මන්ත්‍රණ සහ මේ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳව බරපතළව කල්පනා කළ යුතුය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි