No menu items!
21.8 C
Sri Lanka
28 March,2024

කඳුළින් සේදී ගිය පාස්කු ඉරිදාව සහ එහි ඇතුලාන්තය..

Must read

පාස්කු ඉරිදාව, ජේසුන් මරණයෙන් උත්ථානය වූ දවසය. කතෝලික සහ කිතුණු බැතිමතුන්ට මෙදින සතුටු දවසකි. ශුද්ධවූ අළු බදාදායින් ආරම්භ වෙන උපවාස සමය අවසන් වන්නේද පාස්කු ඉරිදාය. එනිසා මෙදින උදෑසන ආහරයද බෙහෙවින් වැදගත් ය. සැමරිය යුතුමය!! ජේසුන් මරණය පරාජය කළ, අප්‍රේල් 21 ඒ කළු පාස්කු දිනයේදී මම ද මොකද්දෝ කරුමයකට සිටියේ මීගමුවේය. එදින උදෑසන 8ත් 9ත් අතර කාලයේ කොළඹ යන්නට සැරසෙමින් සිටින විට මහා පිපිරුම් හඬක් මාසිටි නිවසට ඇසුනත් අපි එය එතරම් ගනන් නොගත්තේ අවුරුදු සමය අවසන් වෙමින් තිබෙන නිසාය. මීගමු නගරයට යෑමට බසයක් ගන්නනම් මීරිගම පාරට යා යුතුය. ඒ අතුරුපාරේ යනවිට මිනිස් කසුකුසුවකි. සියල්ලෝම වික්ෂිප්ත ය. කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් පල්ලියේ බෝම්බ ප්‍රහාරය ගැන තොරතුර කනට වැටෙන්නේ එවිටය. බසයට නැගිවිටද තවතවත් තොරතුරුම එන්නේ චිත්‍රය තවතවත් අඳුරට හරවමින් ය. මීගමු බස් නැවතුමට ආවිට එහි එල්ලා තිබෙන ටෙලිවිෂනය නොනවත්වා විකාශය කරමින් තිබුණේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ තොරතුරුය. රූපය. මිනිස් අඳෝනාවන් කීවේ එහිද ඇතුළත බෝම්බයක් පිපිරී ඇති බවය. මේ මොනවාද වෙන්නේ සිතාගත නොහැකිව එහෙට මෙහෙට වෙමින් කොළඹ යන්නට හයිවේ බසයට නගිම්දෝ නොනගිම්දෝ යැයි සිතමින් ඉන්නා ඇසිල්ලේ ටෙලිවිෂනය කෑගසන්නේ කොළඹ ෂැංගීලා, කිංස්බරි, සිනමෙන් ග්‍රෑන්ඩ් යන තරු හෝටලද බෝම්බ ප්‍රහාරයට ලක්වී ඇති බවය. ටෙලිවිෂන් නාලිකා තරගයට මෙන් මරණ ප්‍රමාණය වාර්තා කරමින් සිටින මොහොතක මම මීගමුව බස් නැවතුමේ නැවතී බලාසිටියේ සිතට කිසිම සිතුවිල්ලක් නොඑන නිසාය. අවසන මීගමුව, කටාන කටුවපිටිය සෙන් සෙබෙස්තියන් දේවස්ථානයට යන්නට තීරණය කළ මා, මිතුරු විජේන්ද්‍රන්ට ඒ සඳහා ආරාධනා කළෙමි.

‘සෙබෙස්තියන් දෙව්මැදුර කියන්නේ මීගමුවේ හාර්ට් එක’ ඔහු මාසමග මේ ගමනට එකතුවෙමින් කියන්නේය. අපි දෙදෙන එහි ගියෙමු.. මුහුණු ආවරණය කරගත් හමුදා සෙබළුන් ට්‍රෙල් වර්ගයේ යතුරු පැදි රවුම් ගසමින් අපේ මනස සුදානම් කළේය. ඇම්බියුලන්ස් රථද ජීවිතයේ අනිත්‍ය මතක් කරමින් කනට ගොරහැඩි ශබ්ද මුදාහරිමින් මීගමු රෝහල දෙසට ඉගිලෙනු දැකිය හැකිවිය..

මම දේවස්ථානය ඇතුළට ගියෙමි. අහෝ!! අදහා ගත නොහැකිය.. 30 අවුරුදු යුද්ධය තුළ බෝම්බ ප්‍රහාර ස්ථානයක් දැකනොමැති මට නැවත මතකයට ආවේ යුද්ධ කෙතරම් බිහිසුණුද කියන එකය. දේවස්ථානය රුධිරයෙන් පෙගී නැහැවී තිබුණි. දේව මෙහෙයට සවන්දෙන සෙයියාවෙන් සිය ආත්ම සුළඟ පරිසරයට මුදාහල මිනිසුන්, ගැහැනුන්, ළමා ලපටීන්  ඒ වනවිටත් දේවස්ථානයේ අසුන්ගෙන සිටියෝ ය. ඔවුන්ට අංකයක් අලවා ඇත. දෙවියන් වෙනුවට යක්ෂයා දේවස්ථානය සිය භාරයට ගෙන තිබුණි. වේදනාවේ තෙත හාත්පස පරිසරය තෙතබරිත කරතිබුණ ඒ කාලකණ්ණි මොහොතේ, පල්ලිය පරීශ්‍රයේ ගොඩගැසී තිබුණු මළසිරුරුවල සමීපතයින් වික්ෂිප්ත දෑසින් දෙවියන් දෙස බලාසිටියෝය. ‘දේවියන් වහන්සේට ඇයි මේක වළක්වන්න බැරිවුණේ’  සමහරෙක් දෙවියන් ප්‍රශ්න කළේය.. ‘දැනට 81 විතර මැරිලා තියෙනවා. පොඩි දරුවෝ 10කට වැඩියි’. දේවස්ථානයේ ඉරිතැළුනු කවුළුවේ දෑස් ඔබා ඇතුළත බලාසිටින මට කෙනෙකු කියයි.. එත් මේ ලිපිය ටයිප් කරන 24 වැනිදා වනවිට මේ මරණ ප්‍රමාණය සියය ඉක්මවා ඇත. මෙම ප්‍රහාර සියල්ල නිසාම පසුගිය 24 වැනිදින වනවිට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 350කට ආසන්න බවය. පසුගිය අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ එම දිනය වනවිට මියගිය ප්‍රමානය 321ක් බවය. තුවාල ලත් ප්‍රමානය 500ක් බවය. තවම රෝහල් තුළ 375ක් දෙනා නේවාසික බවය. මියගිය පිරිස අතර 38 දෙනෙක් නොරටුන් ය. තවත් එවැනිම විදේශිකයින් 19ක් තුවාල ලබා ඇත. ඔවුන් මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වුණේ පාස්කු ඉරිදා උදෑසන විශේෂ ආහාර වේල රස විඳිමින් සිටින අතර ය. මියගිය පිරිස අතර ළමුන් 45 දෙනෙක් සිටින බව යුනිසෙෆ් කියන්නේය. මේ සහාසික ප්‍රහාරයේ චිත්‍රය සැකසෙන්නේ එසේය.

බෝම්බ ප්‍රහාර එල්ලවූ ස්ථාන අතර වැඩිම හානිය වාර්තා වන්නේ මේ කටුවපිටිය දේවස්ථාන බෝම්බ ප්‍රහාරයෙන්‍ ය. මේ මීසම අද එකම මළගෙයක් ය. එකම පවුලේ පස් හයදෙනා  බැගින් බොහෝ දෙනෙක් සිය දෙවියන් ඉදිරියේම මරණය වෙත ගොසින්‍ ය. බොහෝ දෙනෙකුගේ සිරුරු පසුගිය 23 වැනිදා මිහිකත හා මුසුකරනු ලැබිණි.. දුක වේදනාව කඳුළ මුසුවූ කතන්දර හැමතැනමය.. ඒ අතර කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාර එල්ලකළ මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදියා තමන්ගේ ඉලක්කය සපුරාගන්නා ආකාරය දැක්වෙන සී. සී. ටී. වී දර්ශන සංසරණය වෙමින් තිබෙයි.. බැරිබර කරේ තියන් අමාරුවෙන් මෙන් ඔහු පල්ලිය තුළට පිවිසෙන්නේ පල්ලිය පරීශ්‍රයේ සිට එළියට පැමිණෙන පුංචි දරුවෙකුගේ හිස අතගාමින් ය.

දැන සිට ඇති ප්‍රහාරය

කොච්චිකඩේ ශාන්ත අන්තෝති දේවස්ථානය, කටුවපිටිය දේවස්ථානය, මඩකළපුව සියොන් දේවස්ථානය, කොළඹ ෂැංගිලා හෝටලය, කිංස්බරි හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ආදී ස්ථානවලදී අන්තවාදී මුස්ලිම් මරාගෙන මැරෙන්නන් සිය ඉලක්ක සපුරා ගත් අතර දෙහිවල දේවස්ථානයකට පහරදීමට පැමිණි මරාගෙන මැරෙන ඝාතකයාට එම ඉලක්කය සපුරාගනු නොහැකිවී ඔහු දෙහිවල ප්‍රදේශයේ ලොජ් එකක් තුළදී සිය බෝම්බය පුපුවරවා ගත්තේය. මෙම ප්‍රහාර මාළාවත් සමග කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පිළිබඳව පොලීසිය පරීක්ෂා කළ අතර එහිදී තවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් බෝම්බයක් පුපුරවා ගනු ලැබිණි. එයින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර බෝම්බ ප්‍රහාරය නිසා එම නිවසේ සිටි කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙක් මරණයට පත්විය. මෙම කාන්තාවද මෙම මරාගෙන මැරුණු කල්ලියට සම්බන්ධබව කියවේ. මෙලෙස ඇවිලුණු ඇවිලී මිනිස් ජීවිත බොහෝ ගනනක් සුන් කළ සහ රට ආර්ථික ප්‍රපාතයකට තල්ලු කළ මේ ප්‍රහාර මාළාව පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා පොලීසිය කලින් දැනසිටි බව දැන් සියල්ල සනාථවී හමාරය.  දැනගන්නට තිබෙන විදිහට මෙම ප්‍රහාර පිළිබඳව පැමිණි බුද්ධි තොරතුරකට අනුව  රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයද පොලිස්පති පූජිත් ජයසුන්දරද වාර්තාවක් මගින් දැනුවත්කර ඇත. ඒ දැනුවත් කිරීමට අදාළව පොලිස්පතිවරයාද මේ ප්‍රහාරය පිළිබඳව ඊට පහළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර ඇත. එම දැනුවත් කිරීම සමග විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක තමන් යටතේ ඇති ආරක්ෂක කොට්ඨාශයන් වෙත මෙම ප්‍රහාරය පිළිබඳව දැනුවත් කරමින්  ලිපියක් යවා ඇත.

එහෙත් අනෙකුත් ඉහළ පොලිස් නිලධාරීන් එම කාර්‍යය හරිහැටි ඉටුකර නැති බව වාර්තා වේ.  මෙය ජාතික ආරක්ෂාව එහි භාරකරුවන්ම අනතුරේ හෙළනු ලැබී බරපතළ අවස්ථාවකි. ඒ ආනිසංසයෙන් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට වන්දිගෙවන්නේ කවුරුන්ද?.. මෙම ප්‍රහාරය සමග නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකගේ අදාළ ලිපිය මුහුනු පොතට එක්වී තිබුණු අතර එම ලිපියේ කරුණු මගින් සනාථ වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය මෙම අනතුර දැනසිට ඇතිබවය. එය එසේනම් අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා මෙන්ම රටේ සේනාධිනායකයාද වන පොලීසිය භාර අමාත්‍යවරයාද වන රටේ ජනාධිපතිද වන මයිත්‍රීපාල සිරිසේන මෙය දැනගෙන සිටිය යුතු බවය. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අන්තර්ජාතික මාධ්‍ය වෙත කරන ප්‍රකාශයක් තුළින්ද ජනාධිපතිවරයා මෙය දැනසිට ඇතිබව හැඟේ. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා කටවාචාලයෙකු, අදාළ තනතුරට නොගැළපෙන මෝඩයෙකු පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය කලින් දැනසිටි බවය. මෙතරම් දරුණු ප්‍රහාරයක්  බලාපොරොත්තු නොවුණ බවය.. මේ මෝඩ කතාව ජනාධිපතිවරයාගේ අදහසම වෙන්නටත් බැරි නැත! අගමැති රනිල් වික්‍රමසිංහද කියන්නේ තමන් මේ ප්‍රහාරය දැන නොසිටි බවය. එය සනාථ කිරීම සඳහා ඔහු එකඑක අඳෝනා නගයි. ආරක්ෂක මණ්ඩල සැසිවලට ඔහුට ආරාධනා නොකළ බව  කියයි. මේවා රටේ ජනතාවට අදාළ නැත. මේ අඳෝනාවලින් මැරුණු මිනිසුන්ට පන එන්නේද නැත. වඟකිව යුතු රටක වුණානම් මේ සියළු දෙනාම දැන් ඉල්ලා අස්වී ගොසින් ය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක තම ලිපිය ආරක්ෂක කොට්ඨාශ 4කට යවන්නේය.  එයින් එක් කොට්ඨාශයක් විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයයි. ඒ අනුව මේ ප්‍රහාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද දැනසිට ඇතැයි සිතිය හැකිය.. මේ සියළු දෙයින් පැහැදිලි වන්නේ මෙය නොදැන සිට ඇත්තේ මහජනතාව පමණක් බවය.  තත්ත්වය එයනම් අපි අපිම මඩු වලිගවලින් තලාගත යුතුය.

අන්තවාදී ජමාත්

පසුගිය 23 වැනි දින සවස වනවිට රොයිටර් වාර්තා කරන්නේ මෙම බිහිසුණු අපරාදය අයි. එස්. අයි.එස්  ත්‍රස්තවාදීන්ගේ වැඩක් බව ඔවුන් සිය වෙබ් අඩවිය හරහා පිළිගෙන ඇති බවය. ඉන්පසු 24 වැනි දින උදෑසන වනවිට මේ මරාගෙන මැරෙන ත්‍රස්ත කල්ලියේ සමූහ ඡායා රූපයක් ද විඩියෝ පටයක්ද එළියට එන්නේය. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම්, ඔවුන් ප්‍රහාර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත් කර ඇත. ඔවුන් කියන්නේ මෙම ප්‍රහාරවලින් තම සාමජිකයන් 7 දෙනෙකු මරණයට පත්වූ බවය. කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අබු හම්සා, මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් පල්ලියේදී අබු කලීල්, මඩකලපුව සියොන් දේවස්ථානයේදී අබු මුහම්මද්, කොළඹ ෂැංග්‍රීලා හිදී අබු උබායිදා (සහරාන් හසීම්), සිනමන් ග්‍රැන්ඩ් හිඳී අබු අල් බාරා සහ කිංග්ස්බරි හිඳී අබු මුක්තාර් මරාගෙන මැරුණු බවය. දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් බව දැනගන්නට ලැබේ. සමූහ ඡායා රූපයේ 8 දෙනෙකු සිටින නිසා තවත් එක් අයෙක් ඉතිරිවී සිටින්නට පුළුවන් ය. මෙම සමූහ ඡායා රූපය සහ විඩියෝ පටය සමීපව නිරීක්ෂණය කරනවිට පෙනෙන්නේ මේ කණ්ඩායමේ කාන්තාවක් ද සිටින බවය. ඒ අනුව ඇය තවමත් ජීවතුන් අතර සිටින්නට පුළුවන් ය.

මෙම පිරිසගේ අතීත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ විට පෙනෙන්නේ මොවුන් පසුගිය ආණ්ඩුද වර්තමාන අණ්ඩුද නොසලකා හැරීම මගින් ඔවුන්ට ඔහේ වැඩෙන්නට ඉඩදී ඇති බවය. මෙම පුද්ගලයින් බොහෝ දෙනෙකුට දේශපාලකයින් සමග සමීප සම්බන්ධයන් තිබී ඇතිබවද වාර්තාවෙනබව දැනගන්නට ලැබේ. පසුගිය දා මාවනැල්ලේදී බුදු පිළිම කැඩීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ කල්ලිය එම සිදුවීමට සම්බන්ධය. එහිදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුගේ තොරතුරු මත වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් සොයා ගන්නා අතර මේ සිද්ධීන් දෙක පිළිබඳවම හරි හැටි පරීක්ෂණ කෙරෙන්නේ නැත. එම සිද්ධි දෙක ඔස්සේ හරි හැටි පරීක්ෂණ සිදුවූවේනම් මෙවැනි විපතක් සිදුවන්නේ නැත.

අන්තවාදීන්ගේ මූලයන්

අයි. එස්. අයි. එස් සටන්කාමී සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තද එම සංවිධානයේ මෙරට නියෝජිතයින් ලෙස මේ ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ ‘ ජාතික තව්හිඩ් ජමාත්’ නම් සංවිධානය බව ආරක්ෂ අංශ දැනට දරන මතයයි. ‘තව්හිඩ්’ යන අරාබි වචනයේ තේරුම ඒකීය යන්නයි. ඉඩ්මෝ තයිමෝන් නම් රැඩිකල් මුස්ලිම් මතධාරී ගුරාගේ ගෝලයා වන වහාබ් නැමැත්තා ගේ දර්ශනය (wahhabism) වහාබිනිසම් ය. සියලු තව්හිඩ් ජමාත් සංවිධාන මේ දර්ශනය මත කටයුතු කරයි. එම දර්ශනය අතිශ්‍ය අන්තවාදීය. එනිසා සමහර මුස්ලිම් රටවල් තම විශ්ව විද්‍යාල තුළ මේ දර්ශනය උගන්වන්නේ නැතිබව දැනගන්නට ලැබේ. පොතපතත් තහනම් ය. මෙම දර්ශනය මත පදනම්ව කටයුතු කරන සංවිධාන ලංකාවේ බොහෝ ඇත. එයි සමස්ථ ලංකා තව්හිඩ් ජමාත්, ලංකා තව්හිඩ් ජමාත්, ජාතික තව්හිඩ් ජමාත්, සිලෝන් තව්හිඩ් ජමාත් ප්‍රමුඛ ය. මෙම සංවිධාන අතරින් මෙම ප්‍රහාරයට වගකිව යුතුයැයි කියන ඉහත සංවිධානයේ ක්‍රියාකාරී අන්තවාදීන් සියයකට වැඩිය මේවනවිට හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නැගෙනහිර මුස්ලිම් බෙල්ට් එකේ ජීවත්වෙන පුද්ගලයින් ය. මාවනැල්ල, දර්ගා නගරය, අකුරල, නුවර පුත්තලම ආදී ප්‍රදේශවලද මෙම පිරිස බොහෝ දෙනෙක් ක්‍රියාකාරකම්වල නිරතවෙන බව දැනගන්නට ලැබේ. කොළඹ ප්‍රදේශයේ පමණක් මෙම අන්තවාදීන්ගේ සෙන්ටර්ස් 25ක් පමණ තිබෙන බව වාර්තා වේ. එනිසා මේවා පිළිබඳව ඉක්මනින් සොයාබලා කටයුතු කිරීම බුද්ධි අංශවල සහ අදාළ බලධාරීන්ගේ වගකීමය. මෙම අන්තවාදීන්ට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් විරුද්ධ වුණත් ඔවුන්ට විරුද්ධව වැඩකරන්නට තරම් ඒ මුස්ලිම්වරුන්ට ශක්තියක් නැතිබව මුස්ලිම් සමාජයේම බොහෝ දෙනෙකුගේ මතයයි. ඒ සවුධි අරාබියෙන් එන මුදල් මොවුන් මුස්ලිම් සමාජය මත ආධාර උපකාර ලෙස යුහුසුළුව බෙදාහැරීම නිසාය. මොවුන්ට විරුද්ධව  හඬ අවධි කිරීම මක්කම වදින්න සවුධි අරාබියට යෑමට තිබෙන අවස්ථාව පවා නැතිකර ගැනීමක් ය. ජීවිතේ එක් වරකදී හෝ මක්කම නොවැන්දොත් ඔහු මුස්ලිම්වරයෙකු නොවන බව මුස්ලිම් ඉගැන්වීමයි.. එනිසා තත්ත්වය බරපතළය. මේ අතර වාර්තාවන්නේ උලමාවරුන් අතරද වහාබ් දර්ශනය පිළිගන්නා සහ එය ප්‍රවර්ධනයට කැපවූවන් දැන් බොහෝ සිටින නිසා මෙම තත්ත්වය එන්න එන්නම බරපතළ බවය. අනෙක් පැත්තෙන් මුස්ලිම් දේශපාලකයින් සවුධි රාජ්‍යයේ මූල්‍යමය බලය මත යැපෙන බැවින් එම නායකයින්ද මෙම තව්හිඩ් ක්‍රියාකාරීත්වයට විරුද්ධව හඬ අවධි නොකරන බව මැදහත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අදහසයි…

මේ සියළු තත්ත්වයන්ද පසුගිය කාලයේ ක්‍රියාතමක වූ සිංහල බවුද්ධ මූලදර්මවාදයද නිසා අවසානයේ රට නැවත අවුල් ජාලාවක පැටලී ඇත. කොළඹ පුරා තැන තැන බෝම්බ නිශ්ක්‍රීය කරමින් තිබෙයි. බොම්බ පුරවාගත් ලොරි, වෑන්, බයික් පැමිණෙමින් ඇතිබව පොලීසිය උපුටමින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඉන්දීය බුද්ධි අංශ දෙවැනි ප්‍රහාරයක් පිළිබඳව අනතුරු ඇගවීමක් ශ්‍රී ලංකා රජය වෙත නිකුත් කර ඇතිබව එරට මාධ්‍ය වාර්තා කරයි.. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යුහුසුළුව පරීක්ෂණ මෙහෙයවමින් සිටී. අන්තවාදීන් පිළිබඳව බොහෝ තොරතුරුද ඔවුන්වෙත පැමිණෙමින් ඇතිබව දැනගන්නට ලැබේ.ඇඳිරිනීතියද, හදිස්සි නීතියද රටතුළ ක්‍රියාත්මකය. එහෙත් රාජ්‍ය පාලනයේ ඉහළින්ම සිටින නායකයින්ගේ පිස්සු කෙළිල්ල තවමත් අවසන් නැත!!!

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි