No menu items!
32.5 C
Sri Lanka
23 April,2024

ඒ ආනන්ද සාගර හිමිද? සෝමාරාම හිමිද?

Must read


පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව බෞද්ධ හිමිවරු නැට්ටුවන් බවට පත්වූහ. යූටියුබ් වැනි සමාජ මාධ්‍ය අවකාශයට ගිය කල ‘කොටුවේ හාමුදුරුවන්‘ නම් බෞද්ධ හිමිනමක් විවිධාකාර ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදුකරමින් සිටියි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමෙන් පසුව එහිමියන්ද දින දෙකතුනකට සැරයක් කුමන හෝ නැටුමක් පාන අන්දම දකින්නට ලැබෙයි. වෛද්‍ය සාෆිට ගල් ගසන්නට මහානාහිමිවරුන් යෝජනා කරද්දී, අනෙක් හිමිවරුද ඊට නොදෙවනි ලෙස ප‍්‍රකාශ කරමින් සිටිති.
උසාවියට අපහාස කළ ඥානසාර හිමියන්ට හිමි දඬුවම ලබානොදී එහිමියන්ට සමාව දීමෙන්ම මේ හිමිවරුන් ඉන්නේ නීතියට උඩින් බව පෙන්වා ඇත. එතැනින් එහාට ජාතීන් අතර වෛරය ඇතිකරන ප‍්‍රකාශ කළ හිමිවරුන් ගණනාවකට එරෙහිව ක‍්‍රියාත්මක කළ යුතු නීතිරීති ක‍්‍රියාත්මක කළේ නැත. ෂරියා නීතිය අනුව පුද්ගලයන්ට මරණ දඬුවම දී ඇතැයි ඇසින් දුටුවාක් මෙන් කී හිමිනමක්ද ඒ අතර විය.


බෞද්ධ හිමිවරුන් දැන් ඉන්නේ තමන් නීතියට යටත් නැතැයි සිතමින්ය. මේ හිමිවරුන්ට නීතිය අදාළම නැත. මේ තත්වයේ කූටප‍්‍රාප්තියක් ලෙස ආරක්ෂක අංශ නොතකා පාහියන්ගල ආනන්ද සාගර හිමි ‘වෙඩි තියනවා‘ යැයි කියමින් අරලියගහ මන්දිරයට කඩාවැදීමේ සිදුවීම සැලකිය හැකිය. මෙය ගෙවුණු සතියේ, ජුලි 13 වැනිදා සිදුවූවකි.


මේ සිදුවීම ගැන හිරු ටීවී වැනි මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ බෞද්ධ හිමිවරුන්ට අරලියගහ මන්දිරයේ දොරටු වැසී ඇති බව කියමිනි. බෞද්ධ හිමිනමකට නොව ඕනෑම පුරවැසියෙකුට අරලියගහ මන්දිරයට ඇතුළුවෙන්නට නම් පිළිගත් ක‍්‍රමවේදයක් ඇත. ඒ ක‍්‍රමවේද හරියට ක‍්‍රියාත්මක නොවන්නේදැයි කතාකිරීම වෙනම කළ යුත්තකි. එහෙත් තමන්ට ඕනෑ මොහොතක කඩාවැදී බලෙන් ඇතුළුවෙන්නට කිසිදු රාජ්‍ය ආයතනයක ඉඩක් නැත.


පසුගිය සතියක තමන්ගේ දරුවා සමග සාමාන්‍ය පාසලකට ඇතුළු වූ පියෙකුට හමුදා සෙබළෙකු වෙඩිතබා තිබුණි. ඒ පියා දියණියත් සමඟ සිටියදීය. චීවරයට අරලියගහ මන්දිරය වැසී ඇතැයි කඳුළු හෙළුෑ මාධ්‍ය ආයතන වෙඩි තැබූ සෙබළාගේ පැත්තෙන් ඒ සිදුවීම වාර්තා කළේ මියගිය පියාට අසාධාරණයක් කරමින්ය.


තමා කවුදැයි දන්නේ නැතිදැයි අරලියගහ මන්දිරයට බලෙන් ඇතුළුවෙද්දී ආනන්ද සාගර හිමියන් ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසනු ඒ පිළිබඳ වීඩියෝවේ පෙනෙන්නට ඇත. ආනන්ද සාගර හිමියන් කවුදැයි අපි හොඳින් දනිමු. එහිමියන් අතුරලියේ රතන හිමියන්ට සමීපව වැඩකරන හිමිනමකි. විල්පත්තුව කපා ඇතැයි බොරු කියමින්ට ජනතාව උසිගන්වා පරිසර හිතවාදය ජාතිවාදයකට ඇන්¥ සටනේදී ආනන්ද සාගර හිමි ඉදිරියෙන්ම සිටියේය. යුද්ධයෙන් අවතැන්වූ මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුරවැසියන් පදිංචි කරවූ නිවාස ව්‍යාපෘතියකින් විල්පත්තුව කපා ඇතැයි එහිමියන් ප‍්‍රමුඛ ජාතිවාදී බොරු පරිසර හිතවාදී කඳවුර කියද්දී විලපත්තුව අඟලක්වත් කපා නැතැයි අපි පෙන්වාදුන්නෙමු.

අප පෙන්වාදුන් කරුණු ජාතික මට්ටමේ සංවාදයකට ලක්වීමෙන් පසුව මේ හිමියන් ඇතුළු කණ්ඩායමේ සටන්පාඨ වෙනස්වූ අතර, පසුව විල්පත්තු සටන්පාඨ යටපත්වී තිබුණි. ඔය අතරවාරයේ ආනන්ද සාගර හිමි උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා*ද නිල නොවන වශයෙන් ක‍්‍රියාකාරීව සිටි, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සමීපතමයෙකු බව වැසීගිය එම ආයතයේ ලියකියවිලි හා තොරතුරුවල ඇත. එහි සේවය කළ ඇතැම් විද්වත් නිලධාරීන් පවසන්නේ ආනන්ද සාගර හිමි වැනි අයගේ ක‍්‍රියාකලාපයන් එම ආයතනය වැසීයෑමට හේතුවූ කාරණා අතර තිබුණු බවයි. කලක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ළඟ සිටි ආනන්ද සාගර හිමි, ඒ නැව ගිලෙද්දී දැන් අලූත් නැවකට ගොඩවීමේ බලාපොරොත්තුවෙන් දේශපාලනයේ නිරත වෙමින් සිටියි.


අප ආනන්ද සාගර හිමියන් දන්නවා වුව, රටේ සාමාන්‍ය පුරවැසියන් බොහෝදෙනෙකු එහිමියන් දන්නේ නැත. රටම හඳුනාගන්නට තරම් මහා සේවාවක් එහිමියන් රටට කර ඇත්තේද නැත. ඒ නිසා ඇතැම්විට අගමැති ආරක්ෂක අංශයේ සිටි නිලධාරීන් මේ ආනන්ද සාගර හිමිද නැතිනම් සෝමාරාම හිමිද කියා හරිහැටි හඳුනාගන්නට නැතිවා විය හැකිය.
චීවරයක් පැළඳ සිටි හිමිනමක් රටේ අමැතිවරයෙකුට වෙඩි තබා ඝාතනය කළ බව අප සිහි තබාගත යුතුය. තමන්ට කියා අනන්‍යතාවක් නැතිව, අනන්‍යතා අර්බුදයක ගිලී සිටින මේ හිමිවරුන් මොනවායින් මොනවා කරාවිදැයි ආරක්ෂක නිලධාරියෙකු විශ්වාස කරන්නේ කෙලෙසද?


බෞද්ධ හිමිවරුන්ගේ මේ විකාර හැසිරීම් හා ක‍්‍රියාකලාපයන් තවදුරටත් රාජ්‍යයක් ලෙස හෝ සමාජයක් ලෙස ඉවසාගෙන සිටිය යුතු නැත. මෙවැනි සිදුවීම්වලින් මධ්‍යස්ථ පුරවැසියන්ගේ සිත්වල ඇතිවන අපුල නිර්භයව ප‍්‍රකාශ කළ යුතුය. මේවාට ඍජුව විරෝධය පෑ යුතුය. දැඩිව විවේචනය කළ යුතුය.
උදාහරණයක් ලෙස අරලියගහ මන්දිරයේ සිටි ආරක්ෂක නිලධාරීන් ආනන්ද සාගර හිමි වැන්නෙකුගෙන් තමා කවුදැයි ඍජුව විමසිය යුතුව තිබුණි. ආරක්ෂක අංශ නොතකා බලහත්කාරයෙන් කඩාවැදුණොත් සාමාන්‍ය පුරවැසියෙකුට දක්වන සැලකිලිම මේ හිමියන්ගේ චණ්ඩි ක‍්‍රියාවට එරෙහිවද දැක්විය යුතුව තිබුණි. කෙලින් වැඩකරන රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්ගෙන් පාඩමක් දෙකක් ඉගෙනගත් පසුව මේ හිමිවරුන්ගේ චණ්ඩි ක‍්‍රියා නවතිනු ඇත.


රාජ්‍යයේ සීමාව තුළ ආගමට වඩා රාජ්‍යය ඉහළින් තිබෙන බව පෙන්වූවේ නැතිනම්, ආගමික ප‍්‍රජාවත් ඊට වඩා ඉහළට මතුවුණොත් රාජ්‍යය යන්නේ අගාධයටය. නූතන ලෝකයේ තිබෙන මුස්ලිම් ආගමික රාජ්‍යයන් ඊට හොඳම උදාහරණ වෙයි. අතීතයේ තිබුණු කතෝලික ආගමික රාජ්‍යයන්ද ඊට උදාහරණ වෙයි. ඒ නිසා බෞද්ධ හිමිවරුන් රාජ්‍යයෙහි බලය ඉක්මවා යන මේ රැුල්ල නැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයකි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි