No menu items!
27.1 C
Sri Lanka
23 April,2024

ඊබේ හරහා මුදල් ගෙවා නැවකින් නිවසක් ගෙන්වා ගනිමු

Must read

ගෙදර තරම් අපූරු හැඟීමක් තියෙනවාද. ලෝකයේ මොන අස්සකට ගියත්, රාජකාරියකට වුව කොහේ ගියත් තමන්ට යන්නට නිවෙසක් තියෙනවාය කියන හැඟීම හිත් සැහැල්ලූ කරන හැඟීමක්. තමන්ට කියා ගෙයක් නැතිනම්, එය දැවැන්ත පීඩනයක්. මේ හැඟීමම ගුණදාස අමරසේකරගේ කවියකත් තිබුණා මතකයි. ගෙයක් තනාගැනීමේ අසීමිත ආශාව හා වුවමනාව සිරුර පුරා දුවද්දී, අඩු මිලට හොඳම ගෙයක් තනා ගන්නා හැටි හිතන අය බොහෝයි.
ලංකාවේ මධ්‍යම පන්තිය ගෙයක් හැදීම ගැන හිතන ආකාරය ගෙවුණු වසර 20ක කාලසීමාවේ විප්ලවීය ලෙස වෙනස් වී තියෙනවා. ඒ ගැන නිරීක්ෂණය කොට තිතටම කතාකිරීම ගෘහ නිර්මාණ විශේෂඥයෙකුගේ වගකීමක්.

එහෙත් බැලූ බැල්මටම වෙනසක් පෙනෙනවා. අඩු ඉඩ කළමනාකරණය කොට විවෘත ලෝකයක් නිර්මාණය කරගන්නට අලූත් නිවාස හිමියන් හිතනවා.
පර්චස් 15ක පමණ ඉඩක් පාවිච්චි කොට තැනූ තට්ටු තුනේ නිවසක ඉහළ තට්ටුවේ පිහිනුම් තටාකයක්ද, සූර්ය කෝෂ පද්ධතියක්ද, නිවසට ආලෝකය ලැබෙන විවෘත අවකාශයක්ද විවර කරගෙන තනා ඇති අපූරුව අපට දකින්නට ලැබුණා. මේ වෙද්දී අලූතෙන් ඉඩම් කට්ටි මිලදී ගෙන තනන නිවාස දෙස බලද්දී ලංකාවේ ගෘහනිර්මාණවලට හුරුපුරුදු උල් වහළය හා බිත්ති හතරට කොටුවූ හැඩය පෙනෙන්නට නැහැ. ඒ වෙනුවට විවිධාකාරයෙන් බිත්ති පෙනෙනවා. වහළය වෙනුවට නිවසේ ඉහළ විවෘත අවකාශයක් නිර්මාණය වෙනවා. නිවෙස් තුළට වාතාශ‍්‍රය ගැනීමට උපරිමය කෙරෙනවා.


අනෙක් පැත්තෙන් නාගරික අවකාශවල ඉඩකඩ සීමාවීමත්, සමාජ තත්වය පිළිබඳ නවීන අදහස් ඉහළට පැමිණීමත් නිසා මහල් නිවාස පද්ධති වැඩි වැඩියෙන් නිර්මාණය වෙමින් තියෙනවා. බොහෝ අය මහල් නිවාසද තෝරාගන්නවා. එයද අලූත් නිවාස හැඩයක්. එහෙත් අවුරුදු විස්සක් තුළ මේ අලූත් නිවාස හැඩයද සාමාන්‍යකරණය වෙමින් තියෙනවා.


හැමදේම වෙනස් විදියට කරන්නට හිතන කෙනෙකු, නිවෙසත් සාම්ප‍්‍රදායික නිවාසවලට වඩා වෙනස් විදියට තනාගන්නට කල්පනා කරනවා. එහෙත් වෙනස් විදියට නිර්මාණය කරන්නට යැයි කියා දැවැන්ත මුදලක් යටකරන්නත් බොහෝ දෙනෙකුට බැහැ.


ඒ නිසා අඩු වියදමෙන් වෙනස් හැඩයක් සොයන්නට කන්ටේනර් නිවාසයක් තනාගැනීම අපූරු විසඳුමක්. මේ වෙද්දී අඩි 20ක් දිග අඩි 8.5ක් පළල කන්ටේනර් පෙට්ටියක් රුපියල් ලක්ෂයකට පමණ ලබාගත හැකියි. පෙට්ටි දෙකකින් අපූරු කුඩා ගෙයක් තනාගත හැකියි. එසේ තැතිනම් තනා අවසන් කළ කන්ටේනර් පෙට්ටි නිවාසයක් රුපියල් ලක්ෂ හතරහමාරකට පමණ ලබාදිය හැකි බව මේ ලිපිය ලියන්නට පෙර අප විමසූ විට කන්ටේනර් පෙට්ටිවලින් නිවාස තනන සමාගමක නිලධාරියෙකු කීවා.

පුංචි නිවාස


කන්ටේනර්වලින් තැනුවත්, ගඩොල්වලින් තැනුවත්, බ්ලොක්ගල්වලින් තැනුවත්, ලීවලින් තැනුවත් පුංචි නිවාසයක් තනාගැනීම පුංචි පවුලකට ආස්වාදජනක අත්දැකීමක්. මේ වෙද්දී ලොව බොහෝදෙනෙකු පුංචි නිවෙස්වල ජීවත්වීමට කැමතියි. කාර්යාල කාමරයක් ලෙසත් පාවිච්චි කරන නිදන කාමරයක්, ඒ සමඟම තිබෙන කුස්සියක්. අමුත්තෙකුට කුඩා කාමරයක්. පුංචි උඩ තට්ටුවක් සමඟ නිවෙසක් තනාගැනීම අපූරු ජීවන අත්දැකීමක්. මේ වෙද්දී යූටියුබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍යවල කුඩා නිවාස ගැන දැවැන්ත සංවාදයක් තියෙනවා. විවාහක හා අවිවාහක තරුණ යුවළක්, දරුවන්ගෙන් මිදුණු විශ‍්‍රාමික යුවළක් ජීවත්වෙන්නට නිවෙසක් හොයනවා නම් අපූරුම තෝරාගැනීම මෙවැනි කුඩා නිවාසයකුයි.


කාමර විශාල වෙද්දී, කාමර එකිනෙක ඈත් වෙද්දී නිවැසියන් ඈත් වෙනවා. නිවෙස කුඩා වෙද්දී නිවැසියන්ද එකිනෙකා සමීප වෙනවා. සැමියා කුස්සියෙහි උයන අතර බිරිඳට ලැප්ටොප් පරිගණකය ඒ අසළම තබාගෙන තමන්ගේ කාර්යාලයේ මඟහැරුණු වැඩක් නිමකරන්නට පුළුවන් වෙන්නේ කුඩා නිවෙසක ජීවත්වෙද්දීයි. සැමියා උයන අතරේ බිරිඳට කෙටි විහිළුවක් කරන්නට වුව අවකාශය හැදෙන්නේ එවැනි පුංචි නිවාස පසුබිමකයි.


කොහොම වෙතත් පුංචි නිවෙසක් කියන්නේ තෝරාගැනීමක්. ඒ සමඟම අවාසි ගණනාවකුත් තියෙනවා. පුංචි නිවෙසකට යද්දී ගෘහභාණ්ඩ අඩු කරගත යුතුයි. දැවැන්ත පිළිවෙළක් අවැසියි. විශාල පිරිසකට ජීවත්වීමත් අසීරුයි.

විවෘත ගෙවතු


නිවෙස පුංචි වෙද්දී නිවෙසට පිටතින් වැඩි විවෘත අවකාශයක් තැබිය හැකියි. පර්චස් 15ක ඉඩමක් නම්, එහි හැකිතරම් කුඩා නිවෙසක් ඉදිකළොත් සාපේක්ෂව ලොකු ගෙවත්තක් නිර්මාණය කරගත හැකියි. ඒ ගෙවත්තද විවෘත අවකාශයකට ඉඩ සලසනවා. තණබිස්සක්, ගෘහාශ‍්‍රිත බෝග හා සුරතල් සතුන් සමඟ විවෘත අවකාශය සම්පූර්ණ වෙනවා. මේ විවෘත අවකාශය ලෝකය පුරා පවතින දේශගුණ විපර්යාස සමඟ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ ප‍්‍රශ්නයටත් උත්තරයක්. කොන්ක‍්‍රීට් බිත්ති ඇතුළේ සිටිනවාට වඩා ඉන් පිටත වැඩිපුර කාලයක් ගතකරන්නට ගෙවත්තක් නැතිව බැහැ. තමන්ගේ ලෝකය බිත්ති හතරකින් සීමා කර නොගෙන ඈත දකින්නට කැමති කෙනෙකුට විවෘත ගෙවත්තක් අපූරුයි.

හයිබි‍්‍රඞ් නිවාස


කන්ටේනර් පෙට්ටිවලින් බොහෝවිට තනන්නේ පුංචි නිවාස. මඳක් විශාල නිවෙසක් වුව කන්ටේනර් පෙට්ටියකින් තනාගත හැකියි. මේ වෙද්දී කන්ටේනර් නිවාස පිළිබඳ සංවාදයක් ලංකාවේ මතුවෙමින් තියෙනවා. සාමාන්‍ය බිත්ති හා මෙවැනි තහඩුවලින් කෙරෙන හයිබි‍්‍රඞ් ඉදිකිරීම් බොහොමයක් මෑත කාලයේ ඉදිවුණා. කීල්ස් වැනි ව්‍යාපාරික ජාල පවා කොළඹ ආශ‍්‍රිතව හයිබි‍්‍රඞ් ගොඩනැගිලි ඉදිකර ඇති අන්දම දකින්න ලැබෙනවා. ඒ සමගම හයිබි‍්‍රඞ් නිවාස ඉදිකරන සමාගම් පවා බිහිවී තියෙනවා.


එක් සමාගමකට කතාකළ අපට එහි නිලධාරියෙකු මිල ගණන් කීවා. ඉඩමක් තිබෙනවා නම් ඔවුන් එක් කාමරයක්, මුළුතැන් ගෙයක්, සාලයක් හා නානකාමරයක් තිබෙන කුඩාම කන්ටේනර් නිවෙසක් ලක්ෂ හතරහමාරක් වැනි මුදලකට නිර්මාණය කර දෙනවා. නිවසක විශාලත්වය හා ඉඩම තිබෙන ප‍්‍රදේශය අනුව මේ මිල ගණන් වෙනස් වෙනවා. නිවස තිබෙන ස්ථානය, වාතාශ‍්‍රය, හිරු එළිය, ආරක්ෂිත බව, සුවපහසුව ආදි කාරණා මත ඔවුන් නිවෙස නිර්මාණය කරනවා. එමෙන්ම එවැනි නිවෙසක් අප සැලසුම් කළොත්, ඒ ආකාරයට නිවෙස නිර්මාණය කරන්නටද ඔවුන් සමත්. ඔවුන් කියන අන්දමට මුල් කාලයේදී ඉල්ලූමක් නොතිබුණද, මේ වෙද්දී එවැනි නිවාසවලට ඉල්ලූම වේගයෙන් වැඩිවෙමින් තියෙනවා.


කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් නිවෙසකට යද්දී සැලකිලිමත් විය යුතු කාරණා බොහෝයි. ගොඩනැගිල්ලේ ආකෘතිය, අභ්‍යන්තර අවකාශවල පිහිටීම, ප‍්‍රමාණය, වර්ණ, හැඩතල, නිවසෙහි භාවිතය ගැන පවා වෙනස්ම කෝණයකින් බැලීම ඉතාම වැදගත්. සිමෙන්ති බිත්තිවලට අදාළ භෞතික සාධක කන්ටේනර් බිත්තිවලට අදාළ නැහැ. උෂ්ණත්වය ආදි කාරණා ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වෙනස හොයාගෙන නිවැරදිව භාවිත කිරීම වැදගත්ම කාරණයයි. නැතිනම් ටික දවසක් ගතවෙද්දී බිත්ති දිරායෑම, අධික උෂ්ණත්වය හෝ වෙනත් බාහිර උවදුරකට මුහුණදෙන්නට පවා කන්ටේනර් නිවෙසක් හේතු විය හැකියි. කෙසේවෙතත් අමතර යමක් කිව යුතුයි. නිසි පරිදි සකසා ගතහොත් හයිබි‍්‍රඞ් නිවෙසක් ඉහළ යන ලෝක උෂ්ණත්වයටත් පිළිතුරක් වේවි. එවැනි නිවෙසක් ‘ෆැරඬේ කුටියක්’ද වන නිසා අකුණු අවදානමකුත් නැහැ.


හයිබි‍්‍රඞ් නිවෙසක් තනාගන්නට තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ ඉඩමක් ප‍්‍රමාණවත්. පර්චස් 5කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් ඉදිකර ගත හැකියි. වැදගත්ම කාරණයක් වන්නේ මෙම නිවාස ඉදිකිරීමට ආයතන ගණනාවක අනුමැතියක් අවශ්‍ය නොවීමයි. ප‍්‍රමිතියෙන් යුතු කන්ටේනර් නිවෙසක් දිනෙකින් දෙකකින් දිරායන්නේ නැහැ. වසර 25කට අධික කාලයක් මේ නිවාස භාවිතයට යොදා ගත හැකියි. උපරිම වශයෙන් තට්ටු 6ක් දක්වා මෙවැනි නිවෙසක් ඉදිකළ හැකියි.


විවිධ වූ ආදායම් හා ජීවන ශෛලීන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කරන ලද මාදිලි ගණනාවකින් හයිබි‍්‍රඞ් නිවාස මේ වන විට වෙළෙඳපොළට ඇවිත් තියෙනවා. වාසිය වෙන්නේ ඊබේ හෝ ඇමසන් වෙතින් ඇණවුම් කොට නැවකින් මෙවැනි නිවෙසක් ගෙන්වාගත හැකිවීමයි. එමෙන්ම ලොව පුරා මෙවැනි නිවාස ගැන නිර්මාණය වූ දැනුම් පද්ධතියක්ද ඇති නිසා දින දෙකතුනකින් මෙවැනි නිවාස ගැන විශේෂඥ දැනුමක් ලබාගැනීමත් අසීරු නැහැ.


කුමන හෝ බිත්ති හතරකින් සමන්විත නිවෙසක් අපූරුයි. එහෙත් තමන්ගේ නිවෙස අනෙක් ඕනෑ තැනකට වඩා වෙනස් වීමෙන් දැනෙන හැඟීම ඊටත් වඩා සුන්දරයි. එවැනි සිහින දකින අයෙකුට හයිබි‍්‍රඞ් නිවෙසක් තෝරාගැනීම පොකැට්ටුවටත් ආස්වාදජනකයි. x

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි