කොවිඞ්-19 වසංගතය නිසා ක්‍රිකට් තරඟ පැවැත්වුවේ නැතත්, පසුගිය සති කිහිපයේ ක්‍රිකට් ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. 2007 න් පසුව ලෝක කුසලාන හතරක අවසන් තරඟයට යෑමට සමත් වූ, විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘති තුනේම පසුපස ශ්‍රේණිගත කිරීම්වල සිටී. මෙය ක්‍රීඩකයන්ගේ අඩුවක් බව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙය ඊට එහා ගිය පරිපාලනයේ අඩුවකි. ඉහළම තත්වයේ පුහුණුවක් ක්‍රීඩකයන්ට ලබාදීමට, ජාත්‍යන්තර තරඟ වලට යෑමට පෙර දේශීය වශයෙන් තරඟකාරී පරිසරයක ක්‍රීඩා කිරීමේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ට ලබා දීමට, විවිධ ප්‍රදේශ වලින් බිහිවෙන හොඳම ක්‍රීඩකයන්ව තෝරාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය අසමත්ය.

ඒ කටයුතු ඉටු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් නැතිදැයි විමසා බැලිය යුතුය. ඉන්දියාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වැනි රටවල් වලට වඩා ශ්‍රී ලංකාව දුප්පත් රටක් නිසා, ක්‍රිකට් දුර්වල බව ඇතැමුන් කියයි. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ආදායම කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් යනු දැවැන්ත වාර්ෂික ආදායමක් ඇති ආයතනයකි.

2016 සිට 2017 වර්ෂය සඳහා ජාත්‍යන්තර වශයෙන් ලැබූ ආදායම වැඩි විය. එම වැඩි වූ ආදායම පමණක් රුපියල් 2,879,626,895ක් විය. එනම් රුපියල් කෝටි 287ක් විය. ආදායම ගැන එක් උදාහරණයක් කීවොත් ජාත්‍යන්තර තරඟ විකාශය කිරීම සඳහා 2013 සිට 2020 දක්වා තාජ් නම් රූපවාහිනී සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අනුව රුපියල් කෝටි 600කට වැඩි මුදලක් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු විය. එහෙත් තාජ් ආයතනය ගෙව්වේ අඩු මුදලකි. ඊට වඩා වැඩි මුදලකට විකාශන අයිතිය ලබාදීමේ හැකියාව තිබුණි.

මෙවැනි ගිවිසුම්, ටිකට් ආදායම්, විවිධාකාර අලෙවි කිරීම් ආදියෙන් රුපියල් බිලියන ගණනක දැවැන්ත වාර්ෂික ආදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබයි.

විනිවිදභාවයක් ඇතිව, සාධාරණ ලෙස එම මුදල් වියදම් කළහොත්, නිසි පරිපාලනයක් සිදු කළහොත් ක්‍රිකට් ගොඩග ැනීම කජ්ජක් නොවනු ඇත. ක්‍රීඩාව යනු ක්‍රීඩකයන් පිරිසක් පිටියට ගොස් පන්දු යැවීම හා පිත්ත වැනීම පමණක් නොවේ. හොඳම ක්‍රීඩකයන් තෝරාගැනීම, දක්ෂයන් සොයාගැනීම, හොඳම පුහුණුව ලබාදීම, පුහුණුවට එහා ගිය පෞරුෂයකින් යුත් ක්‍රීඩකයන් ගොඩනැඟීම, දුර්ලභ හැකියාවක් ඇති ක්‍රීඩකයන්ව සොයාගැනීම, ශිෂ්‍යත්ව ලබාදීම, තරඟකාරී පරිසරයට සූදානම් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු අංක එකේ වගකීමය. ඉහළ පැළැන්තියේ සාද දැමීම, විශාල මුදලක් ගෙවමින් මාධ්‍යවේදීන්ව විදේශ සංචාර වලට රැගෙන යෑම, මිලියන ගණන් වියදම් කරමින් තේමා ගීත තැනීම මෙන්ම අනවශ්‍ය තාප්ප බැඳීම ඉහත කී මුල් අරමුණු වලට පසුව ඉටු කළ යුතු ඒවාය. දැන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව නිසා ලැබෙන ආදායම විවිධාකාර නාස්තිකාර ක්‍රියා වලට යෙදවීමය.

සිදුවීම් පහක්

මේ පිළිබඳ තේරුම් ගැනීමට උදාහරණ ලෙස සිදුවීම් පහක් පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙළිදරව් කළේය. පරිච්ඡේද හයකින් යුත් විශේෂ විගණකාධිපති වාර්තාවකින්, එම සිදුවීම් පහ පිළිබඳ තොරතුරු ඇතුළත් විය. එම සිදුවීම් ගැන අපි මීට පෙරද වාර්තා කර ඇත්තෙමු. ඒවායේ සංක්ෂිප්තයන් මෙසේය.

පළමු සිදුවීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන්ව පුහුණු කිරීම සඳහා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් හෙවත් එදිනෙදා ව්‍යවහාරයේදී හැඳින්වූ ආකාරයට ‘ක්‍රිකට් විශ්වවිද්‍යාලයක්’ පිහිටුවීමේ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම අත්‍යාවශ්‍ය හා වැදගත් ව්‍යාපෘතියකි. එහෙත් ඒ සඳහා විධිමත් ස්ථානයක් තෝරාගත තිබුණේ නැත. මහනුවර ගංගාරාම විහාරස්ථානයේ ඉඩමක් ලබාගෙන තිබුණි. ඉන්පසුව මෙම ව්‍යාපෘතියටම අදාලව යැයි සඳහන් කරමින් මහනුවර මල්වතු පාර්ශ්වයට රුපියල් මිලියන 25 ක් ආධාර ලෙස ලබාදී තිබුණි. ක්‍රිකට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියට මේ කියන ඉඩම සුදුසු නොවන බවත්, එය විධිමත් ලෙස ලබාගෙන නැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළේය.

දෙවැනි සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය, ගුවන් විදුලි ප්‍රචාරය, අන්තර්ජාල විකාශය ආදිය සඳහා අනුග්‍රාහකත්ව අයිතිය අලෙවි කිරීමේ ගිවිසුම් වල ගැටළුය. මහින්දානන්ද අළුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාව සිටි, ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාව සිටි කාලයේ විකාශක අයිතිය සඳහා අඩු ලංසු ඉදිරිපත් කළ තාජ් ටීවී නම් ආයතනයකට විකාශන අයිතිය ලබාදී තිබුණි. ඒ 2013 සිට 2020 දක්වාය. ඒ ගනුදෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 18,242,411ක අවාසියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදුවී තිබේ.

එහෙත් එම කොටසේදී හෙළි වූ ඊටත් වඩා බරපතල කාරණාව වී තිබුණේ වෙනත් සමාගම් වෙතින් ලැබිය යුතු මුදල් වංචා කිරීමට ගත් උත්සාහයන්ය. 2018 දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට කළ සංචාරයේදි විකාශන අයිතිය විකිණීමේ ගිවිසුමේ දෙවැනි කොටස වන ඇමෙරිකන් ඩොලර් 436,541ක මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිටින් වූ ගිණුමකට ලබාග ැනීමට උත්සාහ කර තිබුණි. එම සංචාරයෙන්ම ලැබිය යුතු තවත් අය කිරීමක් වන ඇමෙරිකන් ඩොලර් 187,084ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් යැයි සිතා වෙනත් බැංකුවකට ගෙවා ඇති බව ඉන්දියාවේ සෝනි පික්චර්ස් සමාගම දැනුම් දී තිබුණි. ඊටත් පසුව 2018 ඔක්තෝබර් එංගලන්ත සංචාරයේ ඇමෙරිකන් ඩොලර් 11,128,809ක මුදලක් වෙනත් ගිණුමකට යැවීමට උත්සාහ දරා තිබුණි. මෙම මුදල් වෙනත් තැන්වලට ලබාගැනීමට උත්සාහ කර තිබුණේ ඊමේල් පණිවුඩ හරහාය. මෙලෙස විවිධ තැන්වලට මුදල් ලබාගැනීමට අදාල ඊමේල් පණිවුඩ වල ගැටළු රැසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළිදරව් කළේය.

තුන්වැනි මාතෘකාව වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට චන්දික හතුරුසිංහ මහතාව පුහුණුකරුවෙකු ලෙස බඳවාග ැනිමේදී මුදල් පාඩුවක් සහ වෙනත් ගැටළු රැසක් ඇතිව තිබීමය. ඒ පිළිබඳව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති විය. සිව්වැනි මාතෘකාව දේශීය වශයෙන් ගුවන් විදුලියෙන් තරඟ විස්තර විචාරය කිරීමේ අයිතිය ටෙන්ඩර් පටිපාටියට පිටින් ගොස් පෞද්ගලික ඊමේල් ගිණුමකින්, පෞද්ගලික වුවමනා මත විකුණා තිබීමය. මෙම සිදුවීමේදී විවිධ නම් වලින් පෙනී සිටි, වරින් වර තම ආයතනයේ නම මාරු කළ සමාගමක් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනුදෙනු කර තිබුණි. පස්වැනි මාතෘකාව වුණේ ක්‍රිකට් ඒඞ් නම් ආධාර ආයතනය ගැන කරුණු හෙළිදරව් වීමය. වකුග ඩු රෝගීන්ට ආධාර කරන්නට යැයි කියමින් පිහිටවූ ක්‍රිකට් ඒ ආයතනය රුපියල් මිලියන ගණන් මුදල් නාස්ති කර තිබුණි. මෙම සමාගම වංචා සහගත එකක් වූ අතර වකුගඩු රෝගීන් වෙත රුපියලක්වත් ලබා දී තිබුණේ නැත.

නිදහස් කුසලානය

මෙම සටහනේ අරමුණ විගණකාධිපති දෙපාර්තමේන්තුව හා කෝප් කමිටුව හෙළිදරව් කළ සිදුවීම් ගැන නැවත කීම නොවේ. එම විගණකාධිපති වාර්තාව නිකුත් කරන්නටත් පෙර 2018 දී අපි ක්‍රිකට් ඒඞ් ආයතනය ගැනත්, මල්වතු විහාරයට රුපියල් මිලියන 25ක් ලබාදීම ගැනත් ලියා ඇත්තෙමු. අප මෙහිදී පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාස්තිකාර වියදම් ඉහත කී සිදුවීම් පහට සීමා නොවන බවය. තරඟාවලි සංවිධානය කිරීමේදී, විදේශ සංචාර වලදී විශාල මුදල් නාස්තියක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගබලා ගන්නා බව එම ආයතනය ගැන පිරික්සන කෙනෙකුට දැකගත හැකිය.

ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ වාර්තාවෙන් ආවරණය නොතිබුණු කොටස්ද ඇත. ඒ පිළිබඳ උදාහරණයක් ලෙස 2018 වර්ෂයේදි පැවැත්වූ නිදහස් කුසලානය සඳහා සිදුකළ නාස්තිකාර වියදම් අයත්ය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වූයේ තිලංග සුමතිපාලය. එම තරඟාවලිය සඳහා රුපියල් මිලියන 70ක් වියදම් කර තිබුණි. ඒ වියදම් අතර අවශ්‍ය වියදම්ද ඇත. එහෙත් වැඩි මුදලක් වියදම් කර තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහ, ගීතයක් නිර්මාණය කිරීම ආදී කටයුතු සඳහාය. උදාහරණයක් ලෙස රුපියල් මිලියන 14ක් වියදම් කරමින් භාතිය සහ සංතුෂ් ගායක දෙපළ ලවා ගීතයක් නිර්මාණය කරවාගෙන තිබුණි. එහෙත් මෙම තරඟාවලියට අදාලව දෙතුන් වතාවක් ප්‍රචාරය කිරීම හැර එම ගීතයෙන් ප්‍රයෝජනයක් තිබී නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ස්වාධීන වෝහාරික විගණනයක් සිදුකරන ලෙස ඉල්ලමින් 2019 ජනවාරි 31 වැනිදා විදුලි සංදේශ නියාමන, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබුණි. අප පෙර කී සිදුවීම් පහ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන වාර්තාවක් සකස් කර තිබුණේ එම ලිපිය අනුවය.

කෙසේ වෙතත් එම ලිපියේ 10 වැනි කරුණ ලෙස සඳහන්ව තිබුනේ නිදහස් 2018 දී නිදහස් කුසලානය සඳහා අධික මුදලක් වියදම් කර ඇති බවය. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා සිටි කරුණු අතරට එයද ඇතුළත්ය. විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ විගණන වාර්තාව එම කරුණු අතරින් විගණනය කර, විශේෂ විගණන වාර්තාවක් සකස් කර තිබුණේ අප ඉහත සඳහන් කළ මාතෘකා පහ පිළිබඳව පමණි.

එම ලිපියෙහි සඳහන් වූ තාප්පයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යනු, රුපියල් කෝටි 2.1ක් වියදම් කරමින්, ප්‍රේමදාස ක්‍රීඩාංග ණයේ තාප්පයක කොටසක් මාළිගාවත්ත නිවාස වැසෙන සේ ඉදි කිරීමට සැලසුම් කළ ඉදිකිරීම් ව්‍යාපෘතිය වේ.

මෙම ව්‍යාපෘතියට ටෙන්ඩර් කැඳවා තිබුණි. එහෙත් ටෙන්ඩර් කැඳවා තිබුණේ පාර්ශ්ව තුනකින් පමණි. යෝජනා ඉදිරිපත් කර තිබුණේ පාර්ශ්ව දෙකක් පමණි. ඒ අතරින් ඇල්කාඩෝ ඉදිකිරීම් සමාගමට කොන්ත්‍රාත්තුව බාර දී තිබුණි. ඒ එවකට සභාපති තිලංග සුමතිපාලගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ තීන්දුවක් ලෙසය. රුපියල් මිලියන 14ක් හෙවත් කෝටි 1.4ක් මුලින් අනුමත කර තිබුණි. පසුව තවත් මිලියන 7ක් අනුමත කර තිබේ.

ඇල්කාඩෝ සමාගම යනු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්, දහම් සිරිසේනගේ මාමණ්ඩිය බව අමතක නොකළ යුතුය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ මෛත්‍රීපාල සිරිසේන දේශපාලන සමීපතමයන් වූ අතර ශ්‍රීලනිප අභ්‍යන්තරයේ බලවත්ම නායකයෙක් බවට තිලංග සුමතිපාල මහතා පත්ව සිටියේය.

රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් වියදම් කරමින් ඉදි කළේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය වටා නව තාප්පයක් නොවේ. තාප්පයේ කොටසක සංවර්ධනයක් පමණි. මෙම ඉදිකිරීම එතරම් දැවැන්ත මුදලක් වැය වන එකක් නොවේ. තාප්පය දෙස බැලූ කළ එතරම් මුදලක් වියදම් කිරීම පිළිබඳ හිස කසා කල්පනා කරන්නට සිතේ. මෙම තාප්පය රත්තරන් වලින් ඉදිකරන එකක් දැයි විමසමින් 2018 දී මාධ්‍ය වාර්තා පවා පළ විය.

2018 ජනවාරි 18 වැනිදා එම ඉදිකිරීමට අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 4,201,990ක මුදලක් ලබා දී තිබුණි. ඒ ඉදිකිරීම් ව්‍යාපෘතියේ සීයට 20ක අත්තිකාරමක් ලෙසය. එම මුදල සඳහා කොමර්ෂල් බැංකුවේ ඇපකරයක් තැන්පත් කර තිබුණි. යම් ඉදිකිරීමක් සඳහා අත්තිකාරම් මුදලක් ලබාදෙන මොහොතක, එම ඉදිකිරීම අවසන් කිරීමට නොහැකි වුණොත් එම අත්තිකාරම් නැවත අය කරගත යුතුය. ඒ සඳහා ඉදිකිරීම් සිදුකරන පාර්ශ්වය බැංකු ඇපකරයක් ලබාගනී. ඒ අනුව යම් පාර්ශ්වයකට ඉදිකිරීම් ව්‍යාපෘතියක් බාර දී, එය අවසන් කිරීමට නොහැකි වුණොත් ඇප මුදල අය කරගත හැකිය.

එහෙත් ඇල්කාඩෝ සමාගම ලබාගෙන තිබුණු බැංකු ඇපකරය 2018 පෙබරවාරි 26 වැනිදායින් කාලය අවසාන වන එකකි. ඒ අනුව ඇපකරය ලබාගෙන මාසයක් පමණ කාලයක් ඇතුළත බැංකුවේ වගකීම අවසන් වන අතර, ඊට පසු දිනයක ඇපකරය අය කරගන්නට ඕනෑ වුණොත්, බැංකුවෙන් මුදල් අය කරගැනීමේ හැකියාව නැත. කොමර්ෂල් බැංකුව ඇපකරය පිළිබඳ දැනුම් දෙමින් 2018 ජනවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යැවූ ලිපියකින් ඒ බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අත්තිකාරම් අධීක්ෂණය හා පාලනය පිරිහී ඇති බව 2017 වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සඳහන්ය. ඊට අමතරව 2018 වාර්ෂික වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ 2008 සිට 2018 දක්වා කාලයට අදාල රුපියල් 114,677,789ක් හෙවත් කෝටි 11.4ක තරඟ සඳහා වූ අත්තිකාරම් මුදල් අය කරගෙන නොමැති බවයි. ඊට අමතරව ක්‍රීඩා සංගම් සඳහා ඉදිකිරීම් අත්තිකාරම් මුදල් රු. 83,615,044ක් හෙවත් කෝටි 8.3ක් අය කරගෙන නොමැති බවයි. විවිධාකාර ඉදිකිරීම් ආදිය සඳහා කොන්ත්‍රාත් බාර දීමත්, එම කොන්ත්‍රාත් වල අඩුපාඩු තිබීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාල දීර්ඝකාලීන ගැටළුවකි.

2017 මැයි 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගත් තීන්දුවක් අනුව සිම්බාබ්බේ සංචාරයකට මාධ්‍යවේදීන්ව රැගෙන යෑමට රුපියල් මිලියන 3ක පමණ මුදලක් වියදම් කර තිබුණු බව වියදම් සඳහා තවත් උදාහරණයක් ලෙස සඳහන් කළ හැකිය.

පොදුවේ අප කල්පනා කර බැලිය යුතු කාරණයක් ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් නම් ජාත්‍යන්තර කීර්තියක් ඇති සන්නාමයට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ ආදායම් සහ වියදම් කළමණාකරණය නිසිපරිදි සිදුකරනවාද යන්න එම කාරණයය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන දැවැන්ත ආදායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල අනාගත උන්නතිය වෙනුවෙන් නිසිපරිදි ආයෝජනය කරනවාදැයි ක්‍රිකට් රසිකයන් නිතිපතා ප්‍රශ්න කළ යුතුය.■

■ හංසි මානවඩු