කොරෝනා ඇඳිරිය අස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් මම පරණ ෆිල්ම්ස් බලන්න සෑහෙන කාලයක් මිඩංගු කළා. වෙස්ටර්න්සපැගටීස් නමින් හැඳින්වෙන කව් බෝයි ෆිල්ම්ස්, චාලි චැප්ලින්ගේ ෆිල්ම්ස් ආයේ ආයේ බලමින් රස විඳින්න පුළුවන් ඒවා. හාස්‍යය සහ ශෝකය එක පදමට මුහුකොට නිමවා ඇති චැප්ලින්ගේ නිර්මාණ, අතිශය දේශපාලනිකයි. චැප්ලින්ගේ ෆිල්ම්ස් අතරින් ‘සිටිලයිට්ස්’ : (City Lights) මම කැමතිම ෆිල්ම් එකක්. එහි එන අපූරු චරිතයක් තමයි, බීමත් වූ විට අතිශය මානුෂික වන, වෙරි සිඳුණු පසු යළිත් සුපුරුදු දුෂ්ටයෙකු බවට රූපාන්තරණය වන ධනපතියාගේ භූමිකාව. මේ භූමිකාව ම තිබුණා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ පුන්තිලා වේදිකා නාට්‍යයේ. එවක ශ‍්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිනිය ලෙස කටයුතු කළ හෙලේනා ලෙහ්තමකී විසින් අසූව දශකයේ නිෂ්පාදනය කළ මේ නාට්‍යයේ පුන්තිලා භූමිකාව විශිෂ්ට ලෙස රඟපෑවේ අද අප අතර නැති නිහාල් සිල්වා රංගන ශිල්පියා. බීමත් වූ විට පුන්තිලා කාටත් නොමසුරුව උදවු කරන දානපතියෙක්. වෙරි සිඳුණු පසු කුරිරු ධනපතියෙක්.

ඇඳිරි නීතිය සමයේත්, ඇඳිරි නීතිය ඉවත් වූ නගරවලත් දින නියමයක් නොමැතිව තවමත් ඉබි යතුරු දමා වසා තබා තිබෙන කලාපයක් තමයි, වයින් ස්ටෝර්ස්. ලංකාවේ වයින් ස්ටෝර්ස් වසා තබන උනන්දුව එන්නේ සෞඛ්‍ය හේතු නිසා නෙවෙයි. කුමක් මහෝ අර්බුද අවස්ථාවක පළමුවෙන් ම ‘විනෝදය’ කපා හැරිය යුතුයි කියන නැඹුරුව හරහා. නොබොන කෙනා තමන් නොබී ඉඳීමෙන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඒ වෙනුවට බොන එකා බීමෙන් විඳින විනෝදය ද තහනම් කරවීමෙන් මෙහා ඔහුගේ සතුට සම්පූර්ණ වන්නේ නැහැ. තහනම යුක්ති යුක්ත කිරීමට තහවුරු නොකළ බොහෝ දෑ සත්‍යය ලෙස ගෙනහැර දක්වනවා.

බොහෝ අය තුළ තියෙන, එවැනි තහවුරු නොකළ ජනප‍්‍රිය අදහසක් තමයි, වයින් ස්ටෝර්ස් විවෘත කර තැබීම සහ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය අතර සහ-සම්බන්ධයක් (^Correlation ) ඇති බව. ඒත් වයින් ස්ටෝර්ස් වහලා තියෙද්දී ම තමයි, කොරෝනා කාලේ ලංකාවේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැඩි වෙලා කියලා වාර්තා වුණේ. තමන්ගේ බිරිඳට පහර දෙන්නට පුරුදුව ඇති කෙනා, බීවත් නොබිවුවත් ඒ දේ කරනවා. බීම කියන්නේ සුළු උත්තේජනයක් විතරයි. සමහර විට බීමෙන් ලැබෙන (තාවකාලික හෝ) මානසික සැහැල්ලූ බව නිසා කෙනෙකුගේ ප‍්‍රචණ්ඩ සහ කුරිරුබව වෙරි වුනු කාල සීමාව තුළ හෝ දියවී යන්න පුළුවන්. ඉහත චැප්ලින් චිත‍්‍රපටයේත් බ්‍රෙෂ්ට් නාට්‍යයේත් අපට හමුවන්නේ එවැනි චරිත දෙකක්. මම දන්නා කාන්තාවක් හිටියා හවසට තමන්ගේ සැමියාට පොඩි අඩියක් ගැසීමට උනන්දු කළ. එහෙම කරන්නේ ඇයි කියා ඇසූ විට ඈ කියා සිටියේ බීපු වෙලාවට එයා හරි ජොලි කියායි. නැත්නම් මළ වාතයක් කියා ඔහුටත් ඇහෙන්න ම කියනවා.

මත්පැන් යනු, මිල අනුව ඉල්ලූම නොවෙනස් වන භාණ්ඩයක්. ආර්ථික විද්‍යා පාරිභාෂිත යෙදුමකින් කියනවා නම්, ඉල්ලූමේ මිල ප‍්‍රත්‍යාස්ථතාව (price elasticity of demand) ශූන්‍ය භාණ්ඩයක්. මත්පැන් සහ දුම්වැටි අයිති වෙන්නේ එවැනි භාණ්ඩ ගොනුවකට. එවැනි භාණ්ඩයක මිල කොතරම් වැඩි කළත් ඉල්ලූම වෙනස් වන්නේ නැහැ. මේ වගේ භාණ්ඩවල මිල වැඩි කිරීමෙන්, ඒවාට තියෙන ඉල්ලූම නැති නොවන බව දන්නා ආණ්ඩු, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තම අයවැය ඇස්තමේන්තු සැකසීමේදී ඒවාට අයකරන බදු ප‍්‍රතිශතය ඉහළ දමනවා. ඒ තුළින් බදු ලෙස රජයට එකතු වන ආදායම් වැඩි කරගන්නවා.

කොරෝනා සමයේ වයින් ස්ටෝර්ස් වසා දැමීමෙන් රජය බලාපොරොත්තු වුණේ, මත්පැන් සඳහා කුටුම්බ වැයකරන අනවශ්‍ය වියදම් කපා හැරීම නම්, එය රජය තමන්ව ම රවටා ගැනීමක් විතරයි. වසා තැබූ වයින් ස්ටෝර්ස්වල කොරෝනා තහනමට පෙර තිබූ තොගත් දැන් තිබෙන තොගත් ගණන් බැලීමට ක‍්‍රමයක් තිබෙයි නම්, මේ බව වටහා ගන්නට පුළුවන්. වැඩි මිලකට පිටුපස දොරින්,  ඕන තරම් බඩු පාරිභෝගිකයින් සොයා ඇඳිරිය අස්සෙම ඇදී ගිය බව කවුරුත් දන්නා, ඒත් බලධාරීන් නොදන්නා රහසක්. එහෙම පස්සා දොරින් විකුණුනේ සාමාන්‍ය මිල ගණන් අනුවත් නෙවෙයි. ‘ගල්’ අරක්කු බෝතලයක් රුපියල් හාරදහසක් පන්දහසක් වැනි මිල ගණන්වලට. එහෙම සපයා ගන්න බැරි සමහරුන්, ගෙවල්වල පෙරන්නත් පටන් ගත් බවට තොරතුරු අනාවරණය වුණා. ගෙදරදීම පෙරාගන්නා තාක්ෂණය, යොදාගන්නා අමුද්‍රව්‍ය පමණක් නෙවෙයි වඩාත් ඵලදායි ලෙස පානය කරන ආකාරය ගැන පවා විස්තර සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. කොරෝනා සමය ආරම්භක අවධියේ අධික මිලගණන්වලටවත් සොයාගත නොහැකි ලෙස වෙළඳපොලින් අතුරුදන් වුණ භාණ්ඩයක් වුණේ කහ. දැන් කහ හොයා ගන්න පුළුවන්. ඒ තැන දැන් අරන් තියෙන්නේ යීස්ට්. තව ටික දවසක් යනකොට බේකරිවලට පාන් ගෙඩියක් පුච්චා ගන්නවත් යීස්ට් ටිකක් ඉතිරි වෙන එකක් නැහැ.

ලෝකේ කිසිම රටක මත්පැන් වෙළඳාම සම්බන්ධව මේ වගේ අදූරදර්ශී, අතාර්කික ප‍්‍රතිපත්තීන් අනුගමනය කරන්නේ නැහැ. ඒකට හේතුව වෙන රටවල බීම කියන්නේ සංස්කෘතික අංගයක්. ඒ ඒ රටවලට ආවේණික වසර දහස් ගණන් පැරණි බීමේ චාරිත‍්‍ර තියෙනවා. බීම වර්ග තියෙනවා. බටහිර රටවල විතරක් නෙවෙයි කොරියාව, ජපානය, භූතානය වගේ බෞද්ධ රටවල පවා. භුතානේ හැම වැඩක් ම ආරම්භ කරන සුබ නැකතේ ආගමික චාරිත‍්‍රවලට පැමිණෙන හාමුදුරුවන්ට ‘අරග්’ බොන්න දෙනවා. එක එක රටවලට ආවේණික ජාතික මත්පැන් තියෙනවා. ජපානේ සකේ. කොරියාවේ සෝජු. භුතානේ අරග්. නේපාලේ රක්සි වගේ. අද ලෝකෙම රසවිඳින පොදු පානයන් වෙලා තියෙන්නේ විස්කි, බ‍්‍රැන්ඩි, වොඞ්කා, වයින්, බියර් වගේ ඒවා.  ලංකාවට එන සංචාරකයින් බොහෝ ප‍්‍රියකරන පානයක් තමයි, ලංකාවේ ලයන් බියර් එක. පොල් මල් පැණියෙන් අරක්කු පෙරන තාක්ෂණය දකුණු ආසියාව තුළ සංවර්ධනය කෙරුණු එකක්. නැගෙනහිර මධ්‍යධරණී රටවල අසමෝදගම්වලින් පෙරන අරක් (Arak) වලට වඩා වෙනස් අපේ අරක්කු (Arrack).

අපනයනයක් ලෙස හරියට ප‍්‍රවර්ධනය කරනවා නම්, සල්ලි උල්පත්. කංසා ගස් සහ මල් වුණත් එහෙමයි. ඒත් ඒ වෙළඳාම් සංස්කෘතිකව අපට අකැපයි.

වෙන රටවල බීම සංස්කෘතියක් වෙනකොට අපේ රටේ එය සංස්කෘතික තහනමක්. කොරෝනා කාලේ සපුරා තහනමක්. කොරෝනා සමයේ බීම මෙතරම් ආස්වාදජනක අත්දැකීමක් වෙන්නේ ඒ තහනම නිසා.  ඕන ගානක් දීලා ගන්න පෙළඹෙන්නේ මේ තහනම බිඳ එය අත්පත් කරගැනීමේ ආස්වාදය නිසා. එසේ තහනම් බිඳ යමක් පරිභෝජනය කරනකොට දැනෙන ආස්වාදය වැඩියි. තහනම්ගහේ ගෙඩි රසයි වගේ.

කොරෝනා ඇඳිරිය අස්සේ වයින් ස්ටෝර්ස් වහලා තිබ්බාට බොන්න  ඕන එකා මාරාන්තික මෙහෙයුමක යෙදිලා හරි බිවුවා. වැඩි ගානට සල්ලි දීලා අරන් හරි, පෙරාගන හරි බිවුවා. ලංකාවේ වයින් ස්ටෝර්ස් අයිති සාමාන්‍ය ව්‍යාපාරිකයිනට නෙවෙයි. දේශපාලකයෙකුට, එහෙම නැත්නම් දේශපාලකයෙකුට සම්බන්ධකමක් තියෙන කෙනෙකුට. අන්තිමට මිනිස්සු වැඩි ගණන් දීලා ගත්තු අතිරික්ත ලාභය  ගියේ ඒ මුදලාලිලාගේ සාක්කුවලට. වයින් ස්ටෝර්ස් වසා තැබීම නිසා සිදු වුණේ රජයට අයකරගත හැකිව තිබූ විශාල බදු ආදායමක් අහිමි කරගැනීම විතරයි. 

සමූහයක් විදියට කිසියම් අනතුරුදායක අවස්ථාවකට මුහුණ දෙනකොට ඒ සමූහයේ හැම සාමාජිකයෙකුටම පැවරෙන වගකීමක් තියෙනවා. හැම කෙනෙකුටම පැවරෙන රාජකාරියක් තියෙනවා. වෛද්‍යවරුන් ඇතුළු රෝහල් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, ආරක්ෂක සේවාවන්වල අයට, රජයේ අනෙකුත් සේවාවල අයට වගේම ආර්ථිකයට කිසියම් අගයක් එකතු කරන රාජ්‍ය හා පුද්ගලික අංශයේ හැම කෙනෙකුටම මේ සංග‍්‍රාමයේ වැදගත් මෙහෙයක් තිබෙනවා. එකිනෙකාව ආරක්ෂා කරගැනීමේ සහ සේවා සපයා දීමේ වගකීමක් තිබෙනවා. ඒ අතරින් කිසියම් කණ්ඩායමක සේවාව අතිශයෝක්තියට නැගෙන්නේ නම්, අනවශ්‍ය වීරත්වයකට ඔසවා තැබෙන්නේ නම්, ඒ කණ්ඩායම තුළ අයුතු බලයක් සංකේන්ද්‍රණය වෙන එක වළකන්නට බැහැ. ඊට පස්සේ වෙන්නේ බලය අපහරණය වෙන එක.

කොරෝනා ආසාදිත කොටස් හඳුනාගන ඔවුන්ව හුදකලා කරගත් තත්වයක් තුළ සටනේ ජයග‍්‍රහණය පෙනී පෙනී ජයකොඩිය ගන්නට පෙරාතුව ම තම රාජකාරිය නිම යැයි සිතු වීරෝදාර පිරිසක් ඇඳිරි නීති අස්සේ ම ගමරට බලා ගියා. නිකම්ම නෙවෙයි. සමහරුන් අලෙවිය තහනම් කෙරුණු සුමිහිරි පානයන් ද අරගන. ඇඳිරි නීති තහනම අස්සේ වෙන කාටවත් යන්න බැරි ගමන් යන්නට තමනට පුළුවන් බව තම නෑදෑ හිතවතුනට පෙන්වන්නට අහිංසක ආශාවකින් පෙළුණු ඔවුන් තමන් කොරෝනා බෙදාහරිමින් සිටින වාහකයින් පිරිසක් බව දැනන් හිටියේ නැහැ. එක වැරදි පියවරකින් ජයග‍්‍රහණය කණපිට පෙරළුණා. ලංකාවේ  වීරයෙකු  ද්‍රෝහියෙකු වන්නට ගතවන්නේ මොහොතයි.

ජයග‍්‍රහණයන්ගෙන් උද්දාමයට පත්වෙන්න පුරුදු වුණාට පරාජයන් සහ වැරදීම්වල වගකීම් බාර ගන්න තරම් අපි අවංක නැහැ. වැරදීම්වල වගකීම බොහෝ වෙලාවට පැවරෙන්නේ අන්  අයෙකුට.

කොරෝනා විසින් බොහෝ මිථ්‍යාවන් රැසක් මේ වෙනකොටත් බිඳ දමා තිබෙනවා. දෙවියන්, භූතයින් ඇතුළු සියලූ ඇදහීම් බලරහිත කර තිබෙනවා. සබුද්ධිකභාවයෙන්, මනා ආපදා කළමනාකරණ සැලසුමකින් කොරෝනාට මුහුණ දුන් රටවල්, පශ්චාත් කොරෝනා යථාර්ථය තුළ තම රටවල ජන ජීවිතය නව සාමාන්‍ය (New-Normal) තත්වයකට පත් කරගනිමින් තිබෙනවා. සබුද්ධිකත්වය (rationality) වෙනුවට ආගමික අන්ධභාවයෙන්, ඊනියා දේශ පේ‍්‍රමයෙන් කොරෝනාට මුහුණ දෙන්න ගිය අප වගේ රටවලට ආර්ථිකය නැවත විවෘත කරන්නට වෙන්නේ ඇඳිරි නීතිය මුලින් ම පනවන විට තිබුණු අවදානම් තත්වයටත් වඩා දරුණු අවදානම් අඩියකට ඇද වැටී ඇති මොහොතක. වෙන කළ හැක්කක් නැති තැන. කොරෝනා විසින් රටේ ආර්ථික දේහයට මාරාන්තික ලෙස තුවාල සිදුකර අවසන්.

කොරෝනා හුදු සෞඛ්‍ය ගැටලූවක් ලෙස පමණක් සලකා එයට පිළියම් යෙදීමට ආර්ථිකයන් වසා දැමුණු අප වගේ රටවල් පහුගිය කාලය පුරා කරගත්තේ, කොහොමටත් දුර්වල තමන්ගේ ආර්ථික ශක්තිය තව තවත් හීන කරගත් එක විතරයි. ණය සහ මුදල් මුද්‍රණය හරහා හැරෙන්න රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් එන අනෙකුත් මූලාශ‍්‍ර හැම එකක් ම වහගන. මැයි මාසයේ තම වැටුප් නොගෙන වැන්දඹු සහ අනත් දරු අරමුදලට බැර කරන්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීම් කරන්නට ආණ්ඩුවට සිදුවන්නේ ඒ නිසා.

වෘත්තය 49