‘‘මෙහෙමයි මචං අපි ඔය කියනවනේද ගැසියර් දියවීම, පොළවේ උෂ්ණත්වය ඉහළ යෑම තමයි ලෝක විනාශය කියලා. නෑ මචං. ඊට වැඩිය දරුණු අනතුරක් තියෙනවා මචං. ඒතමයි මේ අයිස් දියවෙනකොට ඒ කියන්නේ අවුරුදු දහස් ගාණක් මිදිලා ඉන්න ගැසියර් දියවෙනකොට මචං, බැක්ටිරියා වගේ අපි දන්නේ නැති ගොඩක් ක්‍ෂ්ද්‍ර ජීවින් එළියට එන්න පුළුවන් මචං. ඒක ලොකු ප‍්‍රශ්නයක් වෙයි. බලපං දැන් මේ හුස්ම බර නෑ නේ. මාර විදිහට දැනෙනවනේ මචං.’’ මගේ හිපී මිත‍්‍රයා කතා සාගරය කළම්බනවා. අපේ හිසට ඉහළින් වලාකුළු වියනක් බැඳගෙන අහගෙන ඉන්නවා. සුදු පෙන කැටි වලා කඳු සිරස් සිප සිප ඔහේ ඉන්නවා. අපි දැන් ඉන්නේ කොළඹින් කිලෝමීටර 160කට වැඩි දුරක. හරියටම කියනවනම් බලංගොඩ නන්පේරියල් වතුයායේ. මේක පාලනය කරන්නේ හැරී ජයවර්ධනගේ බලංගොඩ ප්ලාන්ටේෂන්. අපි යන්නේ ලෝකාන්තය හොයාගෙන. මේ ගමන එන්නනම් බෙලිහුල් ඔය කැම්පස් එකට චුට්ටක් කලින් බලංගොඩ පැත්තට වෙන්න තියෙන නන්පේරියල් බෝඞ් එක ළඟින් වමට හැරෙන්න ඕනී. ඊට පස්සෙ බෙලිහුල්ඔයට වැටෙන හිරිකටු ඔයට සමාන්ත‍්‍රව උඩට නගින්න ඕනී… කඳු තරණයක් තියෙන්නේ. ඒ තමයි ලෝකාන්තයට මග. දුෂ්කරයි. පෝවීලයක නැතුව බයිසිකලයක යනවනම් සීරුවට. පොඞ්ඩක් එහෙට මෙහෙට වුණොත් අවුරුද්දක් විතර පහළට පෙරළෙන ඇගලිය. ඒත් ඈතින් ඇසෙන සරසරය. හිරිකටු ඔය. හැමතැනම කඳු සිරස් තරගයක. ‘මේක මචං ගිනිකඳු ඇතිවුණා කියන්න සාධකයක්. මේ කඳු පිහිටලා තියෙන විදිහ බලන්න.. ලාවා ගලාගෙන ගියා වගේ. රත්නපුරේ මැණික් තිබීම මේ ගිනිකඳු කතාව ඔප්පුකරන සාධකයක්…’ අපි කතාසාගරයක කිමිදිලා ලෝකාන්තයට ගමනක් යනවා. බේකර් වංගුව පිස්සු හැදෙන පියස්සක්. සමනැළ වැව, උඩවළව ජලාශය, ඉදලා නුවරඑළිය පැත්තට කුරුල්ලෙක්වගේ ඇස්දෙකෙන් පියාඹන්න පුළුවන් ඉසව්වක්.


අතරමග දමිළ ජීවිත


මේක ලෝකාන්තයද? ලෝකයේ ඇරඹුමද? එහෙම හිතෙන ඉම් පෙදෙස් අතරමග. සීත සුළං එන්න එන්නම.. ටකරන් ලෑලී, මැටි කළුගල් ඝනකම් බිත්ති ලැයින් ගෙවල් පොකුරු, තැන තැන.. දවසේ පඩිය 1000ක් කරන්න කියලා ඉල්ලන මිනිස්සු. පාන්පිටි රොටියයි ලූණුමිරිස් තලියයි ජීවිතය ජීවත් කරන මිනිස්සු. සීනි අල්ලක් අරං කහට උගුරක් බොන මිනිස්සු. කහට දත් දසන් පෙන්නලා හිනාවෙන මිනිස්සු. සුද්දා මේ මිනිස්සු ලංකාවට අරං එනකොට මේ බිම තිබුණ වගේ තමයි තාම. කිසිම පහසුකමක් නැති වටපිටාව එහෙම කියනවා. අපිට නගරක් ඩිවිෂනයට අපි පාර සොයනවා. ‘‘කවදාවත් ඉස්කෝලයක් දැකපුවත් නැති ළමයි ඉන්නවා. දුප්පත්කම හොඳටම. ගිහිං ලියපං පුළුවන්නම්..’’ බලංගොඩ සුරාබදු එකේ වැඩකරපු මගේ යාළුවෙක් මට කාලයකට කලින් කියපු කතාවක් ඕක. කසිප්පු වැටලීමකට ගිය මිනිහගේ හිත උණුවෙලා, මගේ ඉස්සරහා වැගිරුණේ ඒම… කසිප්පු උවදුරක් සල්ලි අතමිට නැති කලට ළඟට එන. දුෂ්කර දේශගුණය, පොළව එක්ක ඔට්ටුවෙන මේ ජීවිතවට අස්වැසිල්ලකට තිබෙන්නේ දාහය නිවාදමන සුළං රැල්ලක් විතරයි.


නගරක් බංගලාව සහ බේකර් මතක..


ලෝකාන්තයට යන මේ පාරේ කිලෝමීටර් 32ක් විතර ගියාම නගරක් බංගලාව හම්බවෙනවා. මේක ලංකාවට එළවළු වගාව හඳුන්වා දුන්නා යැයි කියන බේකර් සුදු මහත්තයා තමයි හදලා තියෙන්නේ.


1846 දි තමයි සැමුවෙල් බේකර් කියන මේ සුද්දා නුවරඑළියේ මහගස්තොට විශාල ගොවිපොළක් ආරම්භ කරන්නේ.. මේ මනුස්සයා දක්ෂ දඩයක්කාරයෙක්. ඔහු පොත් දෙකක් ලියනවා ‘‘ ඔයැ ඍසකෙැ ්බා එයැ ්‍යදමබා සබ ක්‍ැහකදබ (1853” , ‘‘ ‍The Rifle and the Hound in Ceylon (1853 ) ” ‍Eight years wanderings in Ceylon (1855” කියලා. මේ පොත්වල මහඑළියේ නැත්තං හෝටන්තැන්නේ ගෝනුන් දඩයම්කල හැටි විස්තර කර තිබෙනවා. මහ එළියේ ඇති බේකර් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවීමට නම්කර තිබෙනවා. ඊට පහළින් තමයි අපි මේ ඇවිත් ඉන්න බංගලාව තිබෙන්නේ. සැමුවෙල් බේකර් මේ බංගලාව හදන්න ඔහියේ ඉඳලා තමයි බඩු ගෙනාවා කියලා කියන්නේ. කේබල්වලින් බඩු ඇද්දා කියලත් කියනවා. කොහොම හරි අති දුෂ්කර මගක්. පෙදෙසක්.. අපි මේ පාරේ එනකොට හම්බවෙන බේකස් වංගුවට මෙපිටහට එන්න එදා මාර්ගයක් තිබිලා නෑ. සැමුවෙල් බේකර් කියන මේ සුද්දා එදා ලෝකාන්තයට නැත්තන් මහඑළියට ඇවිත් එළවළු වැව්වා. ඒ විතරක් නෙවෙයි ගජරාමෙට අලි ඇතුන් මැරුවා. කතාවට කියන්නේ සැමුවෙල් බේකර් කියන සුද්දයි එයාගේ යාළුවොයි හෝටන්තැන්නේ හිටපු කුරු අලි විශේෂය සංහාරය කරලා වද කරලාම දැම්මා කියලා… මෙහෙම සෙල්ලම් දාලා ලංකාවෙන් පිටව ගිය සැමුවෙල් බේකර් අප‍්‍රිකාවේ ගවේෂණ චාරිකාවල යහමින් යෙදිලා ඉඳලා තිබෙනවා. ඒ කාලේ අභිරහසක් වුණ නයිල් ගඟ ආරම්භවන ජල මූලාශ‍්‍රය සොයා ගත්තේ මේ හාදයා. ඒ 1862දි විතර. අප‍්‍රිකාවේදි කරපු මේ සෙල්ලම්වලට 1866දී සැමුවෙල් බේකර්ට නයිට් පදවිය දෙනවා. ඊටපස්සේ සර් සැමුවෙල් බේකර්. ලංකාවේ බේකර් ඇල්ල තිබෙනවා. බේකර් බංගලාව තිබෙනවා. ඒවගේම අප‍්‍රිකාවේ උගන්ඩාවල කඳුවැටියකට ‘‘මවුන්ට් බේකර්” කියලා නම තියලා තිබෙනවා. ඇත්තටම බේකර්ලා මේ දුෂ්කර කඳු තරණය කළේ වළාකුළු අල්ලන්න නෙවෙයි. සීතල විඳින ගමන් සත්තු මරන්න තිබෙන පිපාසය සංසිඳවා ගන්න. මේ බංගලාව අවට උණුසුම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 15ක් විතර. සමහර සීත දෙසැම්බරයක උණුසුම සෙල්සියස් අංශක 2ක් 3ක් අතර ගානකට යනවා. නගරක් වල තිබෙන මේ බේකර් බංගලාවෙ තමයි එදා ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා මදුසමය ගතකලා කියලා කියන්නේ. මේක කතාවක් ඇත්තද කියන්න හරියටම දන්නේ නැහැ.


ලෝකාන්තයට…


නගරක් බංගලාවෙ ඉදලා තමයි හෝටන්තැන්නට නැත්තං මහඑලියට යන්න මග තිබෙන්නේ. ලෝකාන්තය තිබෙන්නෙත් මේ මහඑළියෙම තමයි. වළාකුළු වියන් කේඩෑරි ගස් සුළං කපොලූ ලෝකාන්තයට ඕනි සෞන්දර්ය අරං එනවා. ‘‘යාලූවෙලා ඉන්න කොල්ලො කෙල්ලෝ මේකෙන් පහළට පනිනවා. අපි තමයි එතකොට ගන්න යන්නේ. සමහරු අත්වැරදීම් වලින් නොසැලකිල්ලෙන් පහළට වැටෙනවා. අතරමග රැුඳෙන මිනී ගන්න එක හරිම අමාරු වැඩක්.’’ ජීවත්වෙන්න දවසකට රුපියල් දාහක් දෙන්න කියලා ඉල්ලන මිනිසෙක් කතාකරනවා. ලෝකාන්තයකට ඕනී හැමදෙයක්ම මෙතන තියෙනවා. රාත‍්‍රියට තරු පොකුරු අහස අපේ ඇස් අග්ගිස්සටම එබෙනවා. උදෑසනට මීදුම හැමදෙයක්ම ලස්සනට වහලා දානවා. ඉතිං ලෝකාන්තයේ සෞන්දර්ය විඳින්න එන්න කියලා තමයි අන්තිමට කියන්න වෙන්නේ…