■ පවිත්‍රා රූපසිංහ

රියැලිටි වැඩසටහන් ලංකාවේ ටෙලිවිෂනයේ නව මානයක් විවෘත කළා කියන්නේනම් ඊට බහුතරයක් දෙනා එකඟ වනු ඇත. ප්‍රේක්ෂකයන්ගේ ඇස් තිරයේ කොටු අතර සිරකර තබාගනිමින්, රිමෝට් කොන්ට්‍රෝලය මත ප්‍රේක්ෂකයාගේ ඇඟිලි තුඩු ක්‍රියාත්මක වන්නට ඉඩහසර නොතබමින්, කටයුතු කරන්නට නාලිකා අතර පවතින දැවැන්ත තරඟයට රියැලිටි වැඩසටහන් දෙන්නේ සුළුපටු තල්ලුවක් නොවේ. ඒ අතර රටේ මායිම්වල ජීවත් වෙමින්, කොළඹ කේන්ද්‍රීය කලාවට සහ දේශපාලනයට, නව නිපැයුම්වලට සැලකිය යුතු බලපෑමක් කරන්නට රියැලිටි වැඩසටහන් හරහා වරක් ප්‍රේක්ෂකයින් වූ, වරක් තරඟකරුවන් වන අයටත් අද හැකිවී තිබේ.

රියැලිටි ශානරය තුළ ප්‍රභේද ගණනාවක් තිබෙනවා
ලංකාවේ රියැලිටි රූපවාහිනී වැඩසටහන් පුරෝගාමී
නිලේන්ද්‍ර දේශප්‍රිය

ටෙලිවිෂන්කරණයේදී අපට තිබුණේ එකම ආරක වැඩසටහන් කියන නිරීක්ෂණය මා තුළ තිබුණා. ඒ කාලයේ ආහාර පිසින වැඩසටහනක් එක නාලිකාවක විකාශය වෙද්දී, අනෙක් නාලිකාවලද ආහාර පිසින වැඩසටහන් විකාශය කළා. සංගීත හෝ ටෙලිනාට්‍ය එකම වෙලාවේ සැම නාලිකාවකම විකාශය කෙරුණා.
ලංකාවේ රූපවාහිනියේ තවදුරටත් ප්‍රේක්ෂකයන් රඳවා තබා ගැනීමට ගෝලීය මට්ටමින් විභවයක් සොයමින් සිටිද්දී පර්යේෂණ ප්‍රතිඵලයක් විදියට මට රියැලිටි ශානරය හමුවුණා. එදා මා එය ලංකාවේ රූපවාහිනියට හඳුන්වා දුන්නේ එහෙමයි. රියැලිටි කියන්නේ ගීත, සංගීත, නැටුම්, වැයුම්, දැනුම විනෝදය, ප්‍රශ්නෝතර ආදි විවිධාකාරයේ බොහෝ ප්‍රභේදයන් තිබෙන ප්‍රවාහයක්. ඒවා බොහෝ විට සාර්ථකව අත්හදා බැලූ ක්‍රමවේදයන් වෙනවා.
ටෙලිවිෂන් කියන්නේම ෆෝමැට් එකක්. ඒවායේ අලුතින් සොයා ගැනීම්වලට වඩා කලින් විධිමත්ව අත්හදා බලා සාර්ථක වුණු වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා. ගෝලීය වශයෙන් එක්ස් ෆැක්ටර්, ඇමෙරිකන් අයිඩල්, ඇමෙරිකා ගොට් ටැලන්ටඩ් වගේ රියැලිටි වැඩසටහන් ඇතුළත් වන්නේ මේ ආකාරයේ සාර්ථකව අත්හදා බලා ඇති වැඩසටහන් ගොන්නටයි. බටහිර ලෝකයේ මේවා විකාශය වෙද්දී ගීත ගායනා සම්බන්ධයෙන් ඇති රියැලිටි කලාව, ආසියාවේ උන්මාදයක් බවට පත් වුණා. මා කළේ ඒ ආසියාවේ ඇති වුණු පුනරුදය ලංකාවට හඳුන්වා දීමයි. ලංකාවේ ඒ අනුව රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය කරන්නට මා 2005 වසරේදී ආරම්භ කළා.
ඇමෙරින් අයිඩල් වගේ රියැලිටි වැඩසටහනක් දෙස අවධානය යොමු කර එයින් උත්තේජනය ලබා එම වැඩසටහන ප්‍රතිනිර්මාණය කිරීම කියන්නේ රියැලිටි කලාවේ එක මාදිලියක් පමණයි. අනෙක, මේ වන විටත්, ලෝකයේ අත්හදා බලා සාර්ථක වැඩසටහන් නැත්නම් වරලත් හිමිකාරීත්වය ඇති වැඩසටහන් නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකවරුන් මැදිහත්වීම අනෙක් මාදිලියයි.
මේ අවස්ථාවේදී රියැලිටි වැඩසටහනේ සියලුම නිෂ්පාදන කටයුතු, උපදේශනය ඇතුළු අනෙකුත් දේ සඳහා අවධානය මුල් සමාගමෙන් ලැබෙනවා. ලංකාවේ ඒ ආකාරයෙන් නිෂ්පාදනය වුණු පළමුවන වැඩසටහන සිරස නාලිකාවේ විකාශය වූ ‘ඔබද ලක්ෂපති මමද ලක්ෂපති’ වැඩසටහනයි. ඒ ආකාරයෙන් වරලත් හිමිකාරත්වය ලබාගෙන ලංකාවේ නිෂ්පාදනය කළ දෙවන වැඩසටහන වන්නේ හිරු නාලිකාවේ විකාශය වුණු ‘හිරු ස්ටාර්’. පසුව ඒ ආකාරයේ වැඩසටහන් කිහිපයක් ලංකාවේ විකාශය වුණා සහ මේ වන විටත් විකාශය වෙනවා. මේවා නිෂ්පාදනය කෙරෙන්නේ වරලත් අධිකාරියට යටත්වයි. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදන කටයුතු සිදුවනවා යනු එයයි.
කොකාකෝලා බීම නිෂ්පාදනය ගත්තාම ඇමෙරිකාවේත්, පැරීසියේත්, ඉන්දියාවේත් සහ ලංකාවේ කැබිතිගොල්ලෑවේත් අලෙවි වන කොකාකෝලාවල එකම රසයක් ගැබ්ව තිබෙනවා. නිෂ්පාදන ආයතනය ලංකාවේ තිබෙන්න පුළුවන්. ඒත් නිෂ්පාදන භාණ්ඩය ගෝලීයයි. ප්‍රමිතිය ජාත්‍යන්තරයි. අලෙවි වරලත් හිමිකාරීත්වය ඇති රියැලිටි වැඩසටහන්වලද තත්ත්වය එසේයි.
මේ තත්ත්වය තුළ රියැලිටි කලාවේ බොහෝ ප්‍රභේදයන් තිබෙනවා. සාර්ථකව අත්හදා බැලූ වැඩසටහන් ලෝකයේ තවත් බොහෝ තිබෙනවා. රියැලිටි නම් ශානරය තුළ වෙනත් අතුරු ප්‍රභේද ගණනාවක් තිබෙනවා.
අද යුගය හඳුන්වන්නේ ඩිජිටල් යුගය කියලයි. අද අතේ තබාගෙන යන ස්මාට් ජංගම දූරකථනයේ, ටැබ් එකේ මේ නිෂ්පාදන සියල්ල ගැබ්ව තිබෙනවා. විසිවන සියවසේ සිදු වුණු අතිශය සංකීර්ණ නිෂ්පාදනයන් කෘෂිකර්මයේ පටන් ගුවන් යානා මෝටර් රථය දක්වාම සෑම ක්ෂේත්‍රයකම පෙරළියක් සිදු කළා. එහිදී දූරස්ථ පාලකය නැත්නම් රිමෝට් කොන්ට්‍රෝලය නිපදවීම සුවිශේෂයි. දූරස්ථ පාලකයක් භාවිත කරන රූපවාහිනී ප්‍රේක්ෂකයා තම නාලිකාවේම රඳවා තබා ගැනීම සඳහා රූපවාහිනී නාලිකා ප්‍රධානීන් සහ නිෂ්පාදකයන් වැඩ කළ යුතු වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ සිදු විය යුතුයි.
ඒත් අද එක් නාලිකාවක් සාර්ථකව අත්හදා බැලූ වැඩසටහනක් නිෂ්පාදනය කිරීම ආරම්භ කළ විට, රටේ තිබෙන අනෙක් නාලිකාවනුත් එම වැඩසටහන අනුකරණය කරනවා. අනුකරණයෙන් සහ පවතින තත්ත්වයෙන් ඔබ්බට ගිය ටෙලිවිෂන් කලාවක් සඳහා නාලිකාවන් ගෝලීය වශයෙන් පර්යේෂණ සිදුකළ යුතුයි. එය යුගයේ අවශ්‍යතාවක්ව පවතිනවා.

තරගකාරීත්වය නිසා යථාර්ථය වැසිලා ගිහින්
සංගීතවේදිනී
රශ්මි සංගීතා

‘සිරස සුපර්ස්ටාර්’ වැනි වැඩසටහනක් ලංකාවේ නිෂ්පාදනය වීමට පෙරත් හැත්තෑව දශකයේ යම් යම් වැඩසටහන් තිබුණත්, ඒවාට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට විශාල සමත්භාවයක් තිබුණේ නැහැ. අද ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් ලෙස සැලකෙන අයවලුන් පවා එවැනි වැඩසටහන්වලින් මතු වුණු අය බවට සාක්ෂි තිබෙනවා. රූපවාහිනිය ආරම්භ වීමෙන් පසුව මෙවැනි තරග වරින් වර විවිධ නම්වලින් එහිද පැවැත්වුණා. ඒත් ඒ අද පවත්නා රියැලිටි තරම් අලංකාර සහ ආකර්ෂණීය ආකාරයෙන් නොවෙයි. මෙවන් පරිසරයක් තුළ ‘සිරස සුපර්ස්ටාර්’ හරහා සිරස මාධ්‍ය ජාලය රියැලිටි කලාවේ කේන්ද්‍රීය ලක්ෂ්‍යය සටහන් කළා.
ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක් බැලුවොත්, ඒ අයට අනන්‍ය ප්‍රාසංගික විලාසය තමයි ඉදිරිපත් කරන්නේ. බටහිර ප්‍රාසංගිකත්වය එහෙම පිටින්ම අනුකරණය කර ගැනීමට ඉන්දියාව කටයුතු කරන්නේ නැහැ. අපේ රටේ ගීත කලාව ගත්තොත්, ශිල්පියාගෙන් ශිල්පියාට අනන්‍ය වුණු ප්‍රාසංගික කලාවක් තිබෙනවා. රටට අනන්‍ය වුණු පොදු ප්‍රාසංගික කලාවක් නැහැ. අමරදේව ගයන ශෛලියෙන් වික්ටර් රත්නායක ගයන්නේ නැහැ. සුනිල් පෙරේරා ගයන විලාසයෙන් සුනිල් එදිරිසිංහ ගයන්නේ නැහැ. නිහාල් නෙල්සන් කියන්නේ වෙනමම ප්‍රාසංගික ශෛලියක් ඇති කෙනෙක්. ඒ නිසා අපේ ගීතයට රියැලිටි කලාවේදී අපේ දරුවන් කෘත්‍රිමව ඒ ඒ ගීතයට අනුගත වන්න හුරු කරනවා. මේ කෘත්‍රිමබව ඉහවහ යන අවස්ථා රියැලිටි නැටුම් ගැයුම්වලදී අප දකිනවා.
අද රූපවාහිනී නාලිකා අතර මහා තරගයක් ඇතිවී තිබෙනවා. රූපවාහිනී නාලිකා වැඩ කරන්නේ මාර්කටින් සහ රේටින්ස් පිළිබඳ කල්පනාවෙනුයි. මාර්කටින් සහ රේටින් කියන්නේ මුදල්. එහිදී ප්‍රමිතීන් බොහෝවිට ගිලිහෙනවා.
තත්ත්වය එසේ වුවත් රියැලිටි වැඩසටහන්වල පොදුවේ හොඳ සහ නරක දෙකම තිබෙනවා. රට පුරා සිටින දක්ෂතාවන් පිරිපුන් දරුවන් එළියට එනවා. ඒ හරහා ඔවුන්ගේ ජීවිත සංවර්ධනය වෙනවා. මේ වෙද්දී ලෝකයේම මෙම රියැලිටි සංකල්පය වෙලාගෙන අවසානයි. රියැලිටිවල ඇති තරඟකාරීත්වය නිසාම යථාර්ථය වැසිලා ගිහින් තිබෙනවා. භාරතයේත් එසේමයි. බටහිර රටවල රියැලිටි ප්‍රසංග කලාවෙත් රියැලිටි ප්‍රාසංගික කලාව මිස යථාර්ථය වැසී යමින් තිබෙනවා.
ඉන්දියාවේ රියැලිටි කලාවට සාපේක්ෂව අපේ දරුවන්ටත් අන්තර්ජාතික වේදිකාවට යා හැකියි. දැනටමත් සම්බන්ධ වුණු අය සිටිනවා. තරග හරහා බිහිවන දරුවෝ පෞද්ගලික මැදිහත්වීමෙන් ඉදිරියට යන අවස්ථා තිබෙනවා. අවුරුද්දක් ගානේ රියැලිටි වැඩසටහන් පැවැත්වෙනවා. නාලිකා ගණනාවකින් වසරකට කණ්ඩායමක් එළියට එනවා. නාලිකාවට දිගින් දිගටම එක කණ්ඩායමකට අවධානය යොමු කරන්න බැරි වෙනවා. ඉදිරි වසරේ එළිදක්වන නවකයින්ට අවධානය යොමු කිරීමට නාලිකාවට සිදුවනවා. තවත් විදියකට දුරබැහැර සිට ආ දරුවෝ යම්කිසි මට්ටමකට පැමිණි පසුව ඒ අයගේ ගමන සැකසෙනවා. අන්තර්ජාතික වශයෙන් ඉදිරියට යාමට අපේ දරුවන් තව බොහෝ දේ ඉගෙන ගැනීමට අවශ්‍යයි. අපේ රටේ බොහෝ දරුවෝ අධිතක්සේරුවක සිටිනවා දැකිය හැකියි.

රියැලිටි නිසා ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිවුණා
මාධ්‍යවේදී
නිහාල් පීරිස්

සිරස රූපවාහිනී නාලිකාවේ ‘සිරස සුපර්ස්ටා’ රියැලිටි වැඩසටහන නව ආරකින් ආරම්භ වෙද්දී එය ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වුණා. ඇමෙරිකන් අයිඩ්ල් ආකෘතිය ගත් මේ රියැලිටි වැඩසටහන් ඉතාමත් නාට්‍යානුසාරීව පැවැත්වුණා. ප්‍රසංගයේදී තරගකරුවන්ගේ නන්දෙඩවිලි, හැඬීම්, කෑගැසීම්, සතුට දුක, පවුලේ අය සහභාගි කරවාගෙන සිදුවුණා. තරගකරුවන්ගේ නිවෙස්වලට නාලිකාව ගියා. ඔවුන්ගේ එදිනෙදා ජීවිතය රූපවාහිනී තිරයට ගෙනාවා. ඉතාමත් නාටකීය ආකාරයට පැවැත්වුණු මෙම කලාව රටේ ඉතාමත් ජනාදරයට පත්වුණා. ප්‍රේක්ෂකයන් මේවාට ඉතාමත් ආකර්ෂණය වුණා සහ රූපවාහිනියෙන් දුරස්ව සිටි අයත් රියැලිටි හා එක්වුණා.
ජයග්‍රාහකයින් තේරීමේදී රටවැසියන්ගේ එස්එම්එස් භාවිත කිරීමෙන් මේවා තවත් ජනතාව අතරට විහිදුණා. වැඩසටහන අවසානය දක්වාම අවිනිශ්චිතතාවක් පවත්වා ගන්නට නිෂ්පාදකවරුන් කටයුතු කර තිබුණා. චිත්‍රපටයක හෝ නාට්‍යයක ඇති ගුණය මේවා තුළත් ඇතිකර ගැනීමට ඔවුන් කටයුතු කළ නිසාම රියැලිටි වටා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලංකාවේ ඇතිවුණා.
පසුකාලීනව ලංකාවේ රියැලිටි ප්‍රාසංගික කලාවේ ගීත වැඩසටහන්වලට බොහෝ විවේචන ආවා. මේවායේ ගී ගයන්නෝ ගැයුවේ වෙනත් අයගේ ගීතයි. ස්වතන්ත්‍ර නිර්මාණ සිදු නොවන බවට විවේචන ආ නමුත් තරගකරුවන් ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කළා නම් නාලිකාවේ ජනප්‍රියත්වය පවත්වා ගන්න නොහැකි වෙනවා. එහෙයින් වෙනත් අයගේ ගීත ගැයීම පිළිබඳ චෝදනාව පිළිගත නොහැකියි. අනෙක් අතට, මෙම ප්‍රාසංගික කලාව හරහා ජයග්‍රහකයන් ස්වතන්ත්‍ර නිර්මාණ වෙතට පසුකාලීනව යොමු නොවන බවට චෝදනා ආවා. ඇත්තටම ලංකාවේ දුප්පත් සංගීත කර්මාන්තය තුළ නවකයෙකුට තමන්ගේම වන දීර්ඝ ගමනක් යන්න පහසු නැහැ. ඇමෙරිකාවේ හෝ ඉන්දියාවේ දක්ෂයෙකුට යා හැකි දුර සාපේක්ෂව ලංකාවේ නවකයෙකුට යාම දුෂ්කරයි.
ඒ වගේම ලංකාවේ කලාව පවතින්නේ කොළඹ කේන්ද්‍රීයවයි. ජයග්‍රාහී නවකයන්ට ඉදිරියට යාමට දුෂ්කර වීමට එයත් බලපෑවා. ඒත් ඈත ගම්වල පරවෙලා යන්න තිබුණු අය විවෘත ආර්ථිකයත් සමඟ ඇතිවුණු වේදිකාවට ගොඩවුණා. ඊට පෙර මාධ්‍ය සහ ප්‍රේක්ෂක ජනතාව අතර විශාල පරතරයක් තිබුණා. රියැලිටි හරහා ඒ පරතරය අඩු වුණා.
ඈත ගමක උපන් අතිසාමාන්‍ය පුද්ගලයකු රූපවාහිනී නාලිකාවක ප්‍රධාන චරිතය බවට පත් කරගැනීම නොසලකා නොහැරිය යුතු කාරණයක්. රටේ ජනමාධ්‍ය තුළ විවෘතභාවයක්, රියැලිටි නිසා ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වුණා.■