වැසී යන රජයේ පාසල් ලැයිස්තුව දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව අධ්‍යාපනය ලැබීම සඳහා එකතුවන ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවීමක් හෝ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් අසාමාන්‍ය ලෙස පාසල් හැරයෑම නොවේ. එකක් ජාතික පාසල් ලේබලය යටතේ හෝ වෙනත් ලේබලයක් යටතේ පහසුකම් සහිත රජයේ ජනප්‍රිය පාසල් සංඛ්‍යාව වැඩිවීමය. නැත්නම් එම ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති ගණන වැඩිවී ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීමය. තවත් හේතුවක් වන්නේ ජාත්‍යන්තර ලේබලය යටතේ හෝ වෙනත් ලේබල යටතේ පෞද්ගලික පාසල් බිහිවීමය.
නිවසට කෙතරම් ආසන්න වුවත් අඩු භෞතික හා මානව සම්පත් ඇති පාසලකට දරුවන් යොමු කිරීමට දෙමාපියන් මැලිවීම සාධාරණය. එය අප තේරුම් ගත යුත්තේ පාසල් පද්ධතියේම සිටින දෙමාපියන් වන ගුරුවරුන්ගෙන්ය. ඔවුන්ගේ බලාපොරොත්තුවද ඉගැන්වීම සඳහා ජනප්‍රිය පාසලකට යෑමය. ඒ මගින් සිය දරුවන් එම ජනප්‍රිය පාසලට ඇතුලත් කරගත හැකි බව ඔවුන් දනී. භෞතික සම්පත් කෙසේ වෙතත් දක්ෂ ගුරුවරුන් නැමැති මානව සම්පතද මේ වැසී යන පාසල්වල හිඟ බව අප වටහගත යුතුය.
මේ කතාවද එවැනි වැසී යෑමට නියමිත යැයි කියන පාසලක් ගැනය. එය පිහිටා ඇත්තේ ඈත අති දුෂ්කර ගමක නොවේ. අග නගරය යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේය. නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පිහිටා ඇති පාසලේ නමද විජේරාම මහා විද්‍යාලයය. මහා විද්‍යාලය යැයි කීවාට දැන් එය ප්‍රාථමික විද්‍යාලයකි. ඉන්නේ ළමයින් හැත්තෑ ගණනකි. ඉහළ පන්ති වැසී ගොස් ඇතත් ඒ සඳහා භාවිතා කළ පන්ති කාමර හා ගොඩනැගිලිද, විද්‍යාගාරයක්, ශ්‍රවනාගාරයක් හා ක්‍රීඩා පිටියක්ද එය සතුව පවතී. අක්කර පහක් පමණ වන පාසලේ මුළු භූමි ප්‍රමාණය එය පිහිටා තිබෙන ස්ථානය අනුව දැවැන්ත ආර්ථික වටිනාකමක් ඇති එකකි.
මෙම පාසල ප්‍රාථමික පාසලක් ලෙස තවදුරටත් පවත්වාගෙන යෑම, එහි අතිරික්ත ගොඩනැගිලි හා පහසුකම් අවට ඇති රජයේ වෙනත් පාසල් සඳහා ලබාදීම ආදී සැලසුම් අධ්‍යපන බලධාරින් සතුව තිබී ඇති අතර එම සමහර සැලසුම් ක්‍රියාවට නැගෙමින්ද තිබී ඇත. කලාප අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු වලට අනුව එය අවට ඇති මහමායා විද්‍යාලයේ 6,7 හා 8 වසර පන්ති පැවැත්වීමට විජේරාම පාසලේ ගොඩනැගිලි ලබාදී ඇත. ඊට අමතරව ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය හා විද්‍යාගාරයද මහාමායා විද්‍යාලයේ භාවිතයට ලබාදී ඇත.
එහෙත් මෙම පාසල ගැන දැන් කතාබහ අලුත් වී ඇත්තේ සිය අවසරයෙන් තොරව එහි ඉබි කඩා දේශපාලන හා ව්‍යාපාරික බලවතුන් පිරිසක් එහි නිරීක්ෂණයක නිරත වී ඇති බවට විදුහල්පතිනිය කර ඇති පැමිණිල්ලක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟය. මෙසේ මෙම පාසලට ඒ ආකාරයෙන් ඇතුළු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ආණ්ඩුව සමඟ කටයුතු ප්‍රකට ව්‍යාපාරිකයින් වන දිලිත් ජයවීර, ධම්මික පෙරේරා ඇතුළු පිරිසක්ය. මේ ආකාරයට එම පාසල නිරීක්ෂණය සඳහා එම පිරිස සමඟ ගිය බව ඊට සම්බන්ධවූ එම ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීනි කාංචනා පැල්පොල අප කළ විමසීමකදී පිළිගත්තාය.
පැල්පොල මන්ත්‍රීවරියගේ පැහැදිලි කිරීම වන්නේ එම පාසලේ ඇති විශාල භෞතික සම්පත් ප්‍රමාණය විනාශ වීම වළක්වා එම සම්පත් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිය දේශපාලන වැඩසටහන් වලදී සාකච්ඡාවට ලක්වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම නිරීක්ෂණ චාරිකා සිදුකළ බවත්ය. මෙම ප්‍රශ්නගත නිරීක්ෂණයට පෙර මධුර විතානගේ සමඟ දිලිත් ජයවීර එම පාසල නිරීක්ෂණයට පැමිණ ඇති බවත් ඇය කීවාය. වැඩිදුරටත් පැහැදිලි කළේ මධුර විතානගේ සමඟ දිලිත් ජයවීර නිතර සිටින පුද්ගලයකු බැවින් දම්මික පෙරේරාවත් මෙයට සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව දම්මික පෙරේරා සම්බන්ධ වූ බවත්ය. ධම්මික පෙරේරාගෙන් පාසල් භූමිය සකස් කර දෙන ලෙස ඉල්ලීමක් කළ බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් මධුර විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයන් අනුව එම නිරීක්ෂණයන් සිදුකළ බවය. එහෙත් අප කළ විමසීමකදී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කලාපයේ නිලධාරියකු සිය අනන්‍යතාව හෙළිනොකරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේ විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් ඇති මෙම පාසල වැසී යෑම වැළැක්වීම සඳහා ජාතික පාසලක් ලෙස පරිවර්ථනය කරන මෙන් පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවය. ඊට හේතුව වශයෙන් එම නිලධාරියා පැහැදිලි කළේ නුගේගොඩ අනුලා, ශාන්ත ජෝශප් බාලිකා වැනි පාසල්වලට ඇති තදබදය අඩුකිරීමට ඒ මගින් හැකිවෙතැයි බලාපොරොත්තු වන බවය.
මධුර විතානගේ සඳහන් කරන සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම පාසල සම්බන්ධයෙන් ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කොටසක් ලෙස මෙම පාසල පවත්වාගෙන යා යුතු බවය. එම අදහස පැල්පොල මන්ත්‍රීවරියද තහවුරු කළ අතර ඇය කීවේ දේවි බාලිකා විද්‍යාලයට ඇතුලත් වීමට අයදුම් කර ප්‍රතික්ෂේප වන ශිෂ්‍යාවන් මෙම පාසලට ඇතුලත් කර දේවි බාලිකා විද්‍යාලයේ ඉගෙනගත් අය ලෙස සහතික ලබාදීමේ අදහසක් තිබෙන බවය.
මධුර විතානගේලාගේ බාහිරට පෙන්වා ඇති මෙම අදහස ප්‍රායෝගික ලෙස කළ නොහැකි එකක් බව රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට තේරෙන දෙයකි. අනෙක වන්නේ පාසල් පිළිබඳ අවසන් තීන්දු තීරණ ගනු ලබන්නේ අධ්‍යාපන බලධාරීන් වීමය. එහෙත් කළ නොහැක්කක් නැති ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම දැන් රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතින නිසාත්, ඒ යටතේ පාර්ලිමේන්තු පැමිණීම සඳහා එහි අධිආරක්ෂිත කලාපයට ගේට්ටු ඇර බෝට්ටු මගින් ඇතුල්වීමට මධුර විතානගේට අවසර ලැබී තිබීම වැනි කරුණු සලකා බලන විට කොළඹ දේවි බාලිකාවේ ශාඛාවක් නුගේගොඩ විජේරාමේ පිහිටුවන්නටත් හැකිය. එසේ නැත්නම් එහි නිරීක්ෂණයට ආ පිරිස මෙතෙක් නොකී ව්‍යාපෘතියක කොටසක් විජේරාම පාසලේ ආරම්භ විය හැකිය. මෙම නිරීක්ෂණ චාරිකාව ගැන වැඩි විස්තර අපට සාකච්ඡා කරන්නට සිදුවන්නේ ඉන්පසුය. මන්ද රට තුළ වැසී යමින් ඇති පාසල් ඕනෑ තරම් දුෂ්කර පළාත්වල ඇති තත්වයක් තුළ මේ ව්‍යාපාරික ප්‍රභූන්ගේ දැඩි අවධානය මෙම පාසලට යොමුවීම ස්වභාවිකවම කුකුසක් ඇති කරන බැවින්ය.■