ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු ප්‍රධාන තනතුරක් ලබා නොදීම ඇතුළු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව මාර්තු 26 වැනිදා බාර දෙන බව අනිද්දා සමඟ අදහස් දැක් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයෙක් කීය. යෝජනාවලිය ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කර ඇති කමිටුව වෙත එසේ බාර දීමට නියමිතය.
එසේ ඉල්ලා ඇත්තේ ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු මෙන්ම රාජ්‍ය ආයතන සහ ජනාධිපති කොමිෂන් සභාවල සාමාජිකත්වය ඇතුළු කිසිම තනතුරක් ලබා නොදෙන ලෙසය.
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ රටේ සියලු පක්ෂ සාකච්ඡා කොට, බහුතර කැමැත්ත අනුව තීන්දුවක් ගත යුතු බවද එම යෝජනාවලියේ සඳහන්ය. ව්‍යවස්ථාදායකය මන්ත්‍රී මණ්ඩල දෙකකින් යුතු වීම, මැතිවරණ ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම, බලය බෙදීම තහවුරු කිරීම ආදි යෝජනාද එම වාර්තාවට ඇතුළත්ය.
මෙම කමිටුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ සභාපතිත්වයෙන් 2020 අගෝස්තු මාසයේදී පත් කළේය.■