ලංකාවේ කොවිඩ් මර්දනය උදෙසා චීනය නොමිලේ ලබාදීමට සූදානම් වූ සිනොෆාම් එන්නත ගැන සාවද්‍ය තොරතුරු රටට කියූ ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව පරීක්ෂණ පවත්වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ.

■ පවිත්‍රා රූපසිංහ

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක තොගයක් ලංකාවට පරිත්‍යාග කිරීමේ අටියෙන් චීනය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එය භාරදුන් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසා තිබේ. චීනයේ නිෂ්පාදිත මෙම එන්නතට, හදිසි භාවිතය සඳහා ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු වහාම, එම තොගය ලංකාවට ගුවන් ගත කරන බව ඔවුන්ගේ අදහසයි. කොවිඩ් මර්දන එන්නතක් වශයෙන් චීනයේ බීජිං නුවර ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ට්ස් ආයතනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලංකාවේ හදිසි භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන දෙසතියකට පෙර අවධානය යොමුකර තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඊට ලැබුණු බවත්, දෙසතියකින් ලංකාවට එන්නත් ලැබෙන බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබුණි.
එහෙත් ඒ පිළිබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සතියේ පැවසුවේ, සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලංකාව තුළ ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි. ඒ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනද මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමින් පැවසූ අතර, දැන් ඒ අනුව චීන සිනොෆාම් එන්නතට අනුමැතිය ලබාදීම කල්දමා තිබේ. සිනොෆාම් එන්නත ගැන කතා කිරීමේදී සියලු කාරණාවන්ට පෙර දත යුතු කාරණය නම් මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ දක්වා ලැබී නැති බවයි. චීනය ඇතුළුව ලෝකයේ රටවල් ගණනාවක සිනොෆාම් එන්නත භාවිතයට ගෙන තිබුණත්, එන්නත අවසන් කර තිබෙන්නේ මූලික අත්හදා බැලීම්වල දෙවන අදියර පමණක් බව විදෙස් පුවත් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් මෙම එන්නත පිළිබඳව සිටින්නේ අධ්‍යයනයකය.
ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිනොෆාම් කොවිඩ් 19 මර්දන එන්නතට අනුමැතිය ලබා නොදුන්නේ, එන්නතෙහි ගුණාත්මකභාවය නැත්නම් ප්‍රතිශක්තිකරණ පරිමාණය, කාර්යක්ෂමතාවය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට චීනයේ එන්නත් නිෂ්පාදන ආයතනය ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බව කියමිනි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විශේෂඥයින්ගේ කමිටුව අවධාරණය කරන්නේ සිනොෆාම් එන්නත පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම සහ වැඩිදුර තොරතුරු ලබාගන්නා තෙක් එන්නත ලංකාවේ භාවිතයට ගැනීම නුසුදුසු බවයි. එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ එම විශේෂඥ කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව පවසා තිබේ.
එනම්, සිනොෆාම් එන්නත පිළිබඳ තක්සේරුවක් සඳහා අත්‍යාවශ්‍ය වන ගැටළු සඳහා එම එන්නතේ නිෂ්පාදන සමාගම පිළිතුරු ලබාදී නැත. එනම් මෙම එන්නත මඟින් ප්‍රතිදේහ නිර්මාණය කරන්නේ කෙසේද? 2020 ඔක්තෝබර් මාසයේ 31වනදා සිට මේ දක්වා එන්නත පිළිබඳ සිදුකර ඇති සායනික තොරතුරු, එන්නතෙහි කාර්යක්ෂමතාවය ඇතුළු තවත් ප්‍රශ්නවලට එම සමාගම පිළිතුරු ලබාදී නැති බව අධිකාරිය කියයි. මේ තත්ත්වය තුළ එන්නත පිළිබඳ නිවැරදි තක්සේරුවක් රටට ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු නැති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පත් කළ කමිටුව එන්නතට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ තත්ත්වය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම නියාමන පටිපාටිය නොසලකා හරිමින් මේ වන විට පවසමින් සිටින්නේ වෙනකකි. එනම් ශ්‍රී ලංකාවේ දැනට වාසය කරමින් සිටින චීන ජාතිකයින්ට ලබා දීමට මෙම එන්නත් භාවිත කරන බවයි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍ය අමතා කළ අදහස් දැක්වීමට අනුව චීනයේ වැසියන්ට මෙම එන්නත ලබාදීම මේ වන විටත් සිදුවන තත්ත්වයක් තුළ ලංකාවේ ජීවත් වෙමින් සිටින චීන ජාතිකයින්ට සිනොෆොම් එන්නත ලබාදීමට තීරණය කළ බවයි.
මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි භාවිත නිල අනුමැතියකින් තොරව චීනය පරිත්‍යාග කර ඇති එන්නත් මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් මේ වන විට ලංකාවට ගෙනෙන්නට නියමිත බව වාර්තා වෙයි. ඊට සමගාමීව චීන සිනොෆාම් එන්නත භාවිතයට අනුමැතිය ලබාදෙන දේශපාලන බලපෑම් සිදුවෙමින් තිබෙන බවද ආරංචි මාර්ග පවසයි.

සිනොෆාම් ඵලදායීද?
කොවිඩ් 19 එන්නත නිපදවීමේ ගෝලීය තරඟය අඛණ්ඩව සිදු වෙමින් තිබේ. ඒ අතර චීනය විශාල ප්‍රගතියක් ලබා ගනිමින් චීනයෙන් කොවිඩ් මර්දන එන්නත් දෙකක් එනම් සිනොවැක් සහ සිනොෆාම් යන එන්නත් දැනටමත් නිපදවා තිබෙනවා පමණක් නොව ලෝකයේ වෙනත් රටවලටද ව්‍යාප්ත කර තිබේ. සිනොෆාම් එන්නත පිළිබඳ පර්යේෂණ වාර්තා බොහෝ අඩු බව සඳහන් කළ යුතුය. ඒ නිසාම එන්නතේ සාර්ථකභාවය පිළිබඳ අපට අනුමාන කළ නොහැකිය. මේ අතර එන්නත විශාල වශයෙන් භාවිත කරන චීනය පවසා ඇත්තේ එහි අතුරු ආබාධයන් ඉතාමත් අඩු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන අන්දමට, මොඩර්නා සීයට 95 ක්, ෆයිසර් සීයට 95ක්, ඔක්සෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සීයට 62 – 90 දක්වාත්, ස්පුට්නික් වී එන්නත සීයට 92ක් දක්වාත් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වන බව වාර්තාවී තිබේ. මිල ගණන් අනුව සලකා බැලීමේදී පිළිවෙළින් මොඩේනා එන්නතේ මාත්‍රාවක මිල ඇමෙරිකානු ඩොලර් 33කි. ෆයිසර් එන්නතේ මාත්‍රාවක් ඩොලර් 20ක් වන අතර, ස්පුට්නික් වී එන්නතේ මාත්‍රාවක් ඩොලර් 10කි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ඩොලර් 4ක් පමණකි.
මෙහිදී චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන එන්නත පිළිබඳ නිල වශයෙන් කිසිවක් වාර්තා වන්නේ නැත. චීනයේ ප්‍රකාශයට පත්කර ඇති විද්‍යාත්මක සඟරාවක් වන ‘ද ලැන්සෙට්’ චීන එන්නත් පිළිබඳව ඉදිරිපත් කරන්නේ එම එන්නත්වල පළමු සහ දෙවන අදියර අත්හදා බැලීම්වල තොරතුරු පමණකි. චීන අධ්‍යයනයන් සඳහන් කරන්නේ එම එන්නතේ පළමු අත්හදාබැලීම සහ දෙවන අත්හදා බැලීම අනුව එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු වන බවයි. සිනොෆාම් එන්නත මේ වන විට එහි තුන්වන අදියරේ නැත්නම් අවසාන අදියරේ අත්හදා බැලීම් සඳහා විවිධ රටවල යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙසට, සිනොවැක් චීන කොවිඩ් මර්දන එන්නත තුර්කියේ සහ ඉන්දුනීසියාවේ එහි අවසාන අදියරේ අත්හදා බැලීම්වලට යොමු කර ඇති අතර, ඒ අනුව මෙම එන්නතේ පිළිවෙළින් සීයට 91.25 ක් සහ සීයට 65.3 ක් වශයෙන් ඵලදායී බව වාර්තා වී තිබේ. මේ අතර සිනොෆාම් එන්නත අනුමත කර ඇති අරාබි එමීර් රාජ්‍ය පවසා ඇත්තේ, එම එන්නතේ එරට සිදුවෙමින් තිබෙන තුන්වන අදියරේ අත්හදාබැලීම් අනුව එන්නත සීයට 79 ක් ඵලදායී වන බවයි. එය ගෝලීය පර්යේෂණ ප්‍රථිපලයකට අනුව නැවත අඩු වැඩි විය හැකි නමුත් ප්‍රමාණවත් තොරතුරු ප්‍රසිද්ධ වී නොමැත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව ඊජිප්තුව, කාම්බෝජය සහ පේරු වැනි රටවල්ද මේ වන විට සිනොෆාම් එන්නතට අනුමැතිය දී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වොෂින්ටන් පුවත් වෙත පවසා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යම්කිසි පිරිසකට සයිනොෆාම් කොරෝනා වයිරස් එන්නතෙහි තුන්වන මාත්‍රාවත් ලබා ගැනීමට ආරාධනා කර ඇති බවයි. තවදුරටත් ඔවුන් එන්නත පිලිබඳව කියන්නේ, කොවිඩ් වෛරසය වැළැක්වීමට සිනොෆාම් එන්නතේ පළමු හෝ දෙවන මාත්‍රාව ලබාදීමෙන් පසුවත් යළිත් එනම් තුන්වන මාත්‍රාවක්ද ලබාදීමට කටයුතු කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් ජනතාවට ආරාධනා කර ඇති බවයි. මෙහිදී විශේෂත්වය වන්නේ එවැනි අතිරේක මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් චීනයේ මුල් සමාගම කිසිවක් වාර්තා කර නොමැති වීමයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිනොෆාම් තුන්වන මාත්‍රාවද දැන් ජනතාව ලබාගනිමින් සිටින බව ඩුබායි අයි රේඩියෝ පවසයි. එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් වෝල් ස්ටී්‍රටි සඟරාවට පවසා තිබුණේ සිනොෆාම් මාත්‍රාවන් දෙකක් ලබාගත් පසුත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් නොමැති අය එරට හඳුනාගෙන ඇති බවයි.

සෙනොෆාම් අත්හදාබැලීමේ
තෙවන අදියරේ
සිනොෆාම් එන්නතේ ඇති කොවිඩ් වැළැක්විය හැකි ඵලදායීතාවය පිළිබඳ බොහෝ සැක මතු කළ හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. වඩාත් ඵලදායී ලෙස සැලකෙන බටහිර රටවල නිෂ්පාදිත එන්නත් බොහෝමයක් බටහිර රටවල් විසින්ම පැහැරගෙන ඇති අතර ඒවා ඒ ඒ රටවල් අතර බෙදා ගැනීමේ අනවතර අරගලයක ඔවුන් යෙදී සිටියි. එවැනි තත්ත්වයක් යටතේ සිනොෆාම් එන්නතේ තුන්වන අත්හදාබැලීමේ ප්‍රථිඵල ලබා ගැනීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් තොරව වුවද මේ වන විට හදිසි වැඩපිළිවෙලක් යටතේ චීනයේ මිලියනයකට ආසන්න ජනතාවකට බෙදාදී ඇති බවට වාර්තා වෙයි. ඒ ආකාරයට චීනයේ මෙම එන්නත බෙදාදී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අධි අවදානම් කලාපවල සිටින පිරිස් වෙතය යන්න ද අප නොසලකා හැරිය යුතු නැත.
මෙහිදී සිංගප්පූරුවේ නැෂනල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඩේල් ෆිෂර් පවසා තිබෙන්නේ මේ ආකාරයට අවසාන අදියරේ අත්හදා බැලීම්වලින් තොරව කොවිඩ් මර්දන එන්නතක්, එන්නත්කරණ වැඩසටහන් සිදු කිරීම වැරදි බවයි. හදිසි භාවිත අවසරයකින් එන්නත් වැඩසටහනක් දියත් කිරීමට පෙර තුන්වන අදියර අත්හදාබැලීම් විශ්ලේෂණය කිරීම අති සාමාන්‍ය දෙයක් බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ. පසුගිය දෙසැම්බරයේ පේරු රාජ්‍යයේ සිනොෆාම් එන්නත සඳහා වූ අත්හදා බැලීම්වලට සහභාගී වූ ස්වේච්ඡා සහභාගිකයකු බරපතල අහිතකර අභියෝගයකට මුහුණ පෑ බවත් එතැන් පටන් පේරු රාජ්‍යයේ සිනොෆාම් එන්නත වහාම අත්හිටවූ බවත් වාර්තා වෙයි. පසු කාලයකදී එම අත්හිටුවීම ඉවත් කළ බව වාර්තා වුවද මුලදී එය අත්හිටවූ බවත් සඳහන් වීම එම එන්නත භාවිතයට අවධානය යොමු කරමින් සිටින රටක පුරවැසියන් විදියට අප සුළු කොට තැකිය යුතු නැත.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයයේ අනුමැතිය ලැබී නැති චීන කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත තුන්වන අදියරේ අත්හදාබැලීම් සිදුකෙරෙමින් පවතින එන්නතක් බව සහතික වශයෙන් කිව හැකිය. චීනයෙන් සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේ එන්නතේ තුන්වන අදියරේ අත්හදාබැලීම් සඳහාද? ඒ පිළිබඳව එන්නත ලබාගන්නා අයවලුන්ට කල්තියා දැන ගැනීමේ අයිතියක් ඇති බව වගකිවයුත්තන් දත යුතුය.■