පසුගිය මාර්තු 20 වැනිදා වලපනේ යෝඹුවැල්තැන්නේදී පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී මාධ්‍යයට තර්ජනය කරමින් ජනාධිපතිවරයා කළ කතාව මේ වනවිට කවුරුත් දන්නා දෙයකි. ඒ නිසා එහි අන්තර්ගතය යළි උපුටා දැක්වීම අනවශ්‍යය.
තමා සමඟ සෙල්ලම් දැමීමට මාධ්‍යයට බැරි බවත්, පාඩම් ඉගැන්වීමට ඔහු දන්නා බවත් ජනාධිපතිවරයා එහිදී කියා තිබුණි.
මෙහිදී මතකයට මුලින්ම නැගෙන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔහු, ලේක්හවුස්හි සේවය කළ එවක ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය හා ලේකම් පෝද්දල ජයන්ත ගෙන්වා මාධ්‍ය සංගම් ක්‍රියාකාරකම් නවත්වන ලෙස කළ තර්ජනය කිරීමය. ඔවුන් ඒ ආකාරයට ගෙන්වා කතා කරන්නේ සිය අයියා (මහින්ද රාජපක්ෂ) ඔවුන් දෙදෙනා තමාට උදව් කර ඇති බවට පැවසූ නිසා බවද එහිදී ඔහු කියා තිබුණි.
දෙපානම පිහිටි සිරස මාධ්‍ය සංකීර්ණයට ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණ පහර දීමෙන් පසු එදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔහු කීවේ සිරස ඔවුන්ටම පහර දීගත් බවය. එසේ සිරස තමන්ටම ගහගැනීම සඳහා කොන්ත්‍රාත්තුව බාර දුන්නේ කාටදැයි ඔහු එදා කීවේ නැත. එම අපරාධකරුවන් දන්නවා යැයි කී ඔහුගෙන් එදා ප්‍රකාශ සටහන් කර ගත්තේද නැත. සිරසද ඒ සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කළේ නැත. අදත් එම අපරාධය සම්බන්ධයෙන් නින්දා

අපහාස විඳින්නේ නැතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ යුත්තේ සිරස කොන්ත්‍රාත්තුව බාරදුන් එම ප්‍රහාරකයින් හෙළිකිරීමය.
තවත් සිද්ධි දෙකක්ද මෙහිදී මතකයට නැගේ. එකක් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් කකුල් කැඩීමය. ඔහු පැහැර ගන්නා අවස්ථාවේ ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් සිටියේ ඒ වනවිටත් ජනමාධ්‍යයට එරෙහිව මුදාහැර තිබූ භීෂණය අවසන් කරන ලෙස ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාවකය. පෝද්දල පැහැරගෙන ඇති බව එම සාකච්ඡාවේ සිටි ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයන් කී විට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කතා කළේ ගෝඨාභය රාජපක්ෂටය. එම පැහැර ගැනීම ගැනත් දොස් අහන්නේ නැතිව පෝද්දල මුදා හරින ලෙස ඔහු කීවේ කාටදැයි දැන්වත් කීවොත් හොඳය.
කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ සිද්ධියත් මීට සමානය. ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂට දැනුම් දුන් විට ඔහු සුපුරුදු පරිදි කතා කළේ කාටද?
මේ තොරතුරු සියල්ලම යහපාලන අණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් සොයාගෙන තිබුණි. ශානි අබේසේකරගෙන් මෙතරම් පළිගන්නට හේතුව එය විය නොහැකිද?■