අන්තිමේ බැලුවාම මේ නිකම්ම කෑම විතරයි නේද?

බොහෝ අය කියනවා මම රොක් තරුවක් වගේලු. ඒත් මම දිවුරනවා, මේ රස්සාව තමයි මගේ මූණේ කෙටිලා තියෙන්නේ. ඒ පැය ගාණක ආතතිය, පීඩනය. මම මේ පෙනුම හදාගත් එකක් නෙවෙයි.

■ අනුරංග ජයසිංහ

කෑමවලට කැමති අය ගෝර්ඩන් රැම්සි ගැන අසා ඇති. ඔහු දැන් ලොව සිටින ජනප්‍රියම කෝකියෙක්. යූටියුබ් අඩවියේත් ඔහුගේ පිසීම් ඇතුළත් වීඩියෝ ඕනෑ තරම්. ‘හෙල්’ස් කිචන්’ වැඩසටහනෙන් ඔහු අතිශය ජනප්‍රිය වුණා. ඒ වැඩසටහනේදී ගෝර්ඩන් රැම්සි ඉක්මනින් කේන්ති යන, භයානක කෙනෙකු ලෙස කැපීපෙනුණා. කෑම පිසීමේදී ආවේගයෙන් කෑගැසීම්, බැණවැදීම් සහ දරුණු වාග් මාලාව නිසා ඔහු ‘නපුරු කෝකියෙක්’ ලෙස ප්‍රකටයි.
අපේ පබිලිස් සිල්වා රූපවාහිනී වැඩසටහන්වලදී කරුණාවෙන් යුක්තව කියන, ‘ආදරය මුසු කොට භක්තියෙන් ඉවීම’ ගෝර්ඩන් රැම්සිගේ පුරුද්ද නෙවෙයි.
මේ කතාබහට මාතෘකාව රැම්සිගේ ගුරා. මාර්කෝ පියරේ වයිට්ගේ දෙවැන්නා ලෙස කලක් ගෝර්ඩන් රැම්සි සේවය කර තිබුණා. අප කලින් කී ‘නපුරු’ රැම්සි වතාවක් මාර්කෝ පියරේ වයිට් නිසා හඬා වැටුණාලු.
සමහරුන් කියන විදියට කෑම පිසීමේ රොක් ඇන්ඩ් රෝල් තරු අතරින් පළමුවැන්නා මාර්කෝ.
සමහරුන් සමහර කෑම වර්ග කන්නේ නෑ. පෙනුම හරි නැති නිසා. අපේ සාම්ප්‍රදායික කෑම වර්ග අතරින් අල කොළ මාළුව, කොල්ලු හොද්ද කන්නේ නැත්තේ ඒවායේ පාට, පෙනුම අපට එතරම් ‘දිරවන්නේ’ නැති නිසානේ. දිරවන්නේ නෑ කීවේ බඩට ගියාම බඩ ඇතුළේ දිරවීම ගැන නෙවෙයි. ඇහෙන් කෑම දැක්කාම හිත පිරෙන හැටි ගැන.
රියැලිටි තරග, රූපවාහිනී වැඩසටහන් නිසා ප්‍රසිද්ධ වූ නූතනයේ ජනප්‍රියම කෝකියන් බොහොමයි. ‘මාස්ටර් චෙෆ්’ වැනි රියැලිටි තරග පවා ප්‍රසිද්ධයිනේ. එහෙත්, නූතන ජනප්‍රිය කෝකියන්ගේ රැල්ලක් හැදෙන්නට මාර්කෝ පියරේ වයිට් කෑම පිසීමට එකතු කළ සංස්කෘතික වටිනාකම් හේතු වූවාලු. ගාඩියන් ආයතනයේ ‘ඔබ්සර්වර්’ සඟරාවේ ලේඛක ජේ රෙනර් විස්තර කරන්නේ, මාර්කෝ පියරේ වයිට් ලියූ ‘වයිට් හීට්’ පොත කෑම පිසීමේ කලාවේ විප්ලවයකට මුල පිරූ හැටි.
ඊළඟ පරම්පරාවේ ජනප්‍රිය කෝකියෙකු සහ රූපවාහිනී තරුවක් වන මැට් ටෙබුට්ට තමන්ගේ කොපිය ගත් හැටි තවමත් මතකයි: ‘මම ඒක ලන්ඩනයේ බේස්වෝටර් ප්‍රදේශයේ වයිට්ලීස් නම් වෙළඳසැලෙන් සොයාගත්තා’ලු. ‘මට වයස අවුරුදු දාහතයි. ඒ පොත මතු වෙලා පෙනුණා. බැලුවාම මාරයි. සරාගියි. එහි තිබුණේ සම්පූර්ණයෙන්ම වාගේ මෝහනකාරී පෙනුමයි, ඒ දීප්තිමත් බවයි.’ ඔහු කියා තිබුණා.
නොටිංහැම්හි ජනප්‍රිය අවන්හලක කෝකියෙකු වන සැට් බේන්ස්ට පොත හමුවෙලා තිබුණේ අනූගණන්වල මැද. එය අඩු මිලට පොත් විකුණන කඩයක තිබුණු නිසාලු මිලදී ගත්තේ. ‘මම සම්පූර්ණ පොත පැයෙන් කියව්වා. මගේ ඔළුව පුපුරලා ගියා. කවුද මේ මිනිහා. ඔහුට තිබුණේ රොක් ඇන්ඩ් රෝල් හැසිරීමක්.’
කෝකිවරියක වන මැරියෙන් ලම්බ් කියන්නේ පියරේගේ පොත ඇයට බයිබලයක් වූ බව. අතිශය ජනප්‍රිය කෝකියෙකු වන ටොම් කෙරිජ් කියන්නේ ඒ පොත තමන්ට විශාල පූර්වාදර්ශයක් වූ බව.
වයිට් හීට් කෘතියට අවුරුදු විසිපහක් පිරීම නිමිත්තෙන් එහි නැවත මුද්‍රණයක් පළවුණා. ඒ මුද්‍රණයෙහි කෝකියන් බොහෝ දෙනෙකුට වයිට් හීට් බලපෑ හැටි විස්තර කර තිබුණා.
එවැනි අදහස් දැක්වීම්වලින් කතාව පැහැදිලියි. කෝකියන්ගේ ලෝකයේදී වයිට් හීට් කෘතිය ආහාර වට්ටෝරු තිබෙන තවත් එක් පොතක් නෙවෙයි. එය ශුද්ධ වූ ලේඛනයක්. කෑම පිසින ගින්දර සහ පිහියෙන් කැපීම් ගැන සඳහන් ශුද්ධ වූ ලියවිල්ලක්.
මාර්කෝ පියරේ වයිට්ගේ මුල් අවන්හල ‘හාවීස්’. හවුල් ව්‍යාපාරයක් ලෙස එය අරඹා තිබුණේ මාර්කෝ පියරේ වයිට්ට වයස අවුරුදු විසිහයක් පමණ වෙද්දී. 1987 අවුරුද්දේ හාවීස් අවන්හල විවෘත කර තිබුණේ. ඇරඹුමේදී එය ලන්ඩන්හි පුංචි අවන්හලක්. ඒ අවන්හලේ විශිෂ්ටත්වය නිසාම මිචෙලින් නම් අවන්හල් ශ්‍රේණිගත කිරීම්වලින් තරු දෙකක් එයට හිමි වුණා.
ඔහු ප්‍රංශ වට්ටෝරු අනුව කෑම පිසින්නෙක්. ඔහු තමන්ගේ අවන්හල් පටන්ගන්නට කලින් ලෙ ගැව්රෝච්, ලෙ මැනියොර් වැනි අවන්හල්වල සේවය කළා. රැකියාවක් හොයාගෙන ඉතා ළාබාල වියේදී ආ ගමනක් නිසායි, ඔහු කෝකියෙක් වී තිබුණේ.
හාවීස් අවන්හලේ වැඩ කරන කාලයේ එතැනට සාහිත්‍ය ඒජන්තයෙකු වූ මයික් ෂෝ සහ ඡායාරූප ශිල්පී බොබ් කාලෝක් ක්ලාර්ක් (දිවියෙන් සමුගත්) නිතර ආවාලු. ඉතා කුඩා අවන්හලක, කුඩා කුස්සියකින් මෙතරම් සුන්දර කෑම පිඟන් ආ හැටි ගැන ඒ දෙන්නා පුදුම වුණාලු.
‘බොබ්ට දරාගන්න බැරි තැන ඔහුගේ පුංචි කැමරාවත් අරන් කුස්සියට ගියා. ඒත්, කුස්සියේ සිටි මාකෝ ඔවුන් එළවාගත්තාලු. ඒ පිහි සහ ගින්දර උණුසුම ගැන කියමින්.’
එලෙස එළවාගත් වයිට්, පසුව මේ දෙන්නා මුණ ගැහෙන්නට ඇවිත්. පෙර කී දෙන්නා එක්ක කතාබහ කළා. ඒ කතාබහේ ප්‍රතිඵලයක් ලෙස තමයි වයිට් හීට් කෘතිය ලියා තිබුණේ. එහි වයිට් හීට් යන නමේ, හීට් යන කොටසේ තේරුම සැබෑම ගිනි උණුහුම. සුන්දර කෑම පිඟන් එළියට එන්නේ ගිනි උණුහුමෙන් පිරුණු කුස්සිවලින්.
එයින් ඉතා කෙටි කලකින් හෙවත් 1993දී මාර්කෝ තවත් අවන්හලක් පටන්ගත්තා. ඒ ලන්ඩන්හි හයිඩ් පාක් හෝටලයේ ‘ද රෙස්ටුරන්ට් මාර්කෝ පියරේ වයිට්’ නමින්. ඒ දෙවැනි අවන්හලේ සිටි කාලයේදී මිචෙලින්හි ඉහළම ශ්‍රේණිගත කිරීම වන තරු තුන මාර්කෝට ලැබුණා.
වයිට් හීට් පොතේ ඇති ඡායාරූප බොබ් කාලෝස්ගේ. කුස්සියේ තිබුණු ඒ උණුහුම, කලබලකාරී බව, අධිවේගය ඒ ඡායාරූපවල තිබුණාලු. ඒ කලබලය මැද, රොක් කණ්ඩායමක ප්‍රධාන ගායකයෙක් වාගේ මාර්කෝ පියරේ වයිට් සිටි අයුරු කෑම පිසින ‘රොක්ස්ටාර්’ කෙනෙකු බවට ඔහු හරවා තිබුණා.
ඒ කලබලකාරී පරිසරයේ දිගු කොණ්ඩයත් එක්ක සෙල්ලම් දාන මාර්කෝ පියරේ වයිට් සහ කුස්සියේ කලබලය එක්ක සම්පූර්ණ වූ කෑම පිඟන්වල ඡායාරූප මුහු වෙලා තිබුණා. අවන්හලේ ඉදිරිපස සන්සුන්.
‘ඔබ වයිට් හීට් මිලට ගන්නේ හොඳට උයන්න ඕනෑ නිසාද? මිචෙලින් තරු උයන්න ඕනෑ නිසාද? එහෙනං අතෑරලා දාන්න. එහෙනම් ගිහින් සාස්පානක් ගන්න.’ පොතේ හැඳින්වීම ඇරඹුණේ එලෙස.
‘ඔබට ඕනෑ පූර්වාදර්ශයක්ද? මාකෝගෙන් කොටහක්ද? එහෙනම් මේ පොතෙන් ඔබට යමක් හමුවේවි.’ එහි සඳහන්.
මේ පොත ලියන විටත් මාකෝට වයස අවුරුදු තිහක් විතරයි. එහි එක් ඡායාරූපයක් යට තිබුණේ ‘අන්තිමේ බැලුවාම මේ නිකම්ම කෑම විතරයි. නේද?’ කියා.
තවත් එක් චොකලට් දීසියක් සහිත ඡායාරූපයක කැප්ෂනය වුණේ ‘මේක අප්‍රසන්නයි. මේක සවුත්තු කෑම වේලක්.’ යනුවෙන්.
මාර්කෝගේ කතාව තවත් විචිත්‍ර වුණේ හයිඩ් පාක් අවන්හල අරඹා අවුරුදු පහක් ඇතුළත මිචෙලින් තරු තුන අත්හැර දමන්නට මාකෝ තීන්දු කිරීම නිසායි. ඊටත් කලෙකට පසු ඔහු කාර්යබහුල කෝකියෙකුගේ දිවියෙන් ඈත්ව පවුලේ අය වෙනුවෙන් කාලය වෙන් කර තිබුණා.
අමුතුවෙන් අකුරු කරන්නට ඕනෑ නැතත්, ආහාරවල රසය වගේම ආහාර පිළිගැන්වීමත් කලාවක් බව සිහි තබාගන්න ඕනෑ. කෝකියා තමයි කලාකරුවා. වයිට් හීට් කෘතියෙන් මාකෝ නම් කලාකරුවාගේ හරස්කඩක් ඉස්මතු වුණා. එයින් ආවේස වූ තවත් කලාකරුවන් බිහි වුණා. ආහාර ගැනීම කලාත්මක භාවනාවක් බවට හරවන්නට එවැනි අය සමත් වුණා.
මාර්කෝගේ ජීවන විලාසය බලා, ඒ පොතේ ඇති වට්ටෝරු අත්හදා බැලීම වෙනම අත්දැකීමක් වුණා. ඒ කෑම තමන්ටම රසවත් විදියට පිළිගන්වා ගැනීම රොක් ප්‍රසංගයක් ගෙදර ඉඳන් අහනවා වාගේ වුණා.
අපේ රටේ තියෙන රූපවාහිනි නාළිකා, යූටියුබ් නාළිකා, එදිනෙදා කෑම පිසගැනීමට අවශ්‍ය වට්ටෝරු සපයනවා. සමහර යූටියුබ් නාළිකා හරි දැවැන්තයි. ඒත්, කෑම පිසීමෙහි සරාගී බව අල්ලාගන්නට ඒවා සමත් වී නැහැ. ඒ කලාව ඉස්මතු කරන්නට ඒවාට හැකියාවක් නෑ.
මාර්කෝ පියරේ වයිට් ලංකාවට ආ වෙලාවේ අපේ කෑම ගැනත්, රට ගැනත් ඉහළින් කතා කළා.
‘මම ලෝකයේ විවිධ කෙළවරවලට ගිහින් තියෙනවා. ශ්‍රී ලංකාව තමයි මම දැකපු ලෝකයේ ලස්සනම රට. කාලයකට පස්සේ මම පැය නවයක් නිදා ගත්තා.’
ඔහු මේ අදහස් කීවේ 2016 දී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මොහොතේ. පල්ස් ඩොට් එල්කේ යූටියුබ් නාළිකාවට ඔහු කතා කර තිබුණා. මාර්කෝ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ජාලයේ වැඩසටහනකටයි පැමිණ සිටියේ. එහිදී ඔහු ශ්‍රී ලංකාව තමා දුටු සුන්දරම රට බව කීවා. ලෝකයේ අන් කිසි රටකට වඩා නොකඩවා රසවත් කෑම ගැනීමට ලංකාවේදී හැකි වූ බව කීවා.
ශ්‍රී ලංකාවේදී මාර්කෝ සියල්ලට වඩා පුදුමයට පත් වුණේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආහාර පිසීමේදී කිසිදු භාණ්ඩයක් නැතිව ආහාර පිසූ විදිය ගැන. අඩු පහසුකම් යටතේ රසවත් කෑම හැදීම ගැන.
‘ගින්දරක්, ගඩොල්, දිග දර, ඇලුමිනියම් භාජනයක් එක්ක ඔවුන් පුදුමාකාර රසවත්ම කෑමක් ඉව්වා. ඔවුන් බණ්ඩක්කා, තක්කාලි, ලූණු, මිරිස්, කහ සහ පොල්කිරිවලින් කෑමක් හැදුවා. විනාඩි පහකින් හදලා ඉවරයි.’ ප්‍රංශ ආරෙට තමන්ගේ අත හැඩගස්වමින් ඔහු ඒ රසය විස්තර කළා.
ඒ රොක් තරුවේ ඇගයීම් ලද අපේ කෑම ඉවීමයි, පිළිගැන්වීමයි සරාගී ලෙස බෙදා හදාගන්නට කලාකෘති බිහි වීම වටිනවා.
රියැලිටි සංකල්ප ගැන හිතන විට හැම මොහොතේම සිංදු කියන, ගීත ගයන, නැටුම් නටන තරග බිහි කරන උදවියට කෑම පිසීමේ වෙනස්ම රියැලිටි අත්දැකීමක් ගැන කල්පනා කරන්නත් පුළුවන්. ව්ලොග්, වාර්තා චිත්‍රපටි කරන කෙනෙකුට අපේ රටේ සිටින කලාකාර කෝකියන් හොයන්නත් පුළුවන්.■