■ අනුරංග ජයසිංහ

පළාත් සභා මැතිවරණය මීට පෙර පැවති සමානුපාතික මැතිවරණ ක්‍රමයට පැවැත්වීම සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ අතරින් බහුතරය කැමැත්ත පළ කර ඇතැයි අනිද්දා කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බව එම ප්‍රබලයා කීය. ඒ අනුව නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට වැඩි කාලයක් ගත වනු ඇති බව සාකච්ඡාවට ලක් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ ආසන සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට යෝජනා කර ඇතත්, මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ අරමුණෙන් සමානුපාතික ක්‍රමයට බහුතර කැමැත්ත ඇතැයි ඔහු කීය.
කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමය පිළිබඳ තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත්, ඒ තීන්දුව ගැනීමට දින කිහිපයක් ගත වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.■