‘මිනිසෙකුගේ එක් කුඩා සැපීමක්. මනුෂ්‍ය වර්ගයාගේ දැවැන්ත ආහාර වේලක්.’

වසර හතරකට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ස්කොට් කෙලී ඇතුළු ගගනගාමීන් තිදෙනෙකු ප‍්‍රථම වරට අභ්‍යවකාශයේදී වැවූ සලාද සපා බැලූ මොහොතේ මාධ්‍යවේදීන් එසේ ලියා තිබුණා. 2015 අගෝස්තු මාසයේදී පමණ ඔවුන් එසේ අභ්‍යවකාශයේදී වැවූ සලාද සපා රස බැලූවේ නාසා ආයතනය කරමින් සිටින, ‘වෙජී’ නම් කෙටි නාමයෙන් හඳුන්වන මෙහෙයුමේ දිගුවක් ලෙස. එතැන් පටන් ගෙවුණු වසර හතරක කාලයේදී අභ්‍යවකාශයේ එළවළු වැවීමේ මෙහෙයුම් අද දක්වා සාර්ථකව ඉදිරියට පැමිණ තිබෙනවා.

ගගනගාමියෙකු වීම බැලූ බැල්මට ලොව තිබෙන රසවත්ම රැකියාවක්. තමන්ගේම සිරුරේ බර නැතිව පාවෙන්නට ලැබීම, ඈත සිට නිල් පැහැ ලපයක් බඳු පෘථිවිය දෙස සියැසින් බැලීම ආදි බොහෝ දේ නිසා ගගනගාමියෙකු වීම ගැන සිහින දැකිය හැකියි.

එහෙත් අභ්‍යවකාශයේ කෑම්බීම් නම් සුන්දර අත්දැකීම් ලැයිස්තුවේ නැහැ. අප පෘථිවියේදී ප‍්‍රිය කළ කෑම වර්ග කන්නට නොහැකිව අභ්‍යවකාශයේ ජීවත්වන අය පීඩා විඳින තරම විද්‍යා ප‍්‍රබන්ධ නිර්මාණ බොහොමයක පවා දැකිය හැකියි.

ලංකාවෙන් බිහිවන ගගනගාමියෙක් අභ්‍යවකාශයේදී පොළොස් ඇඹුලක රස, කරවල බැදුමක දිව කකියවන රස කෙසේ අමතක කරන්නද? උණු උණුවේ බදින ලද මාළු කැබැල්ලක රසය සිහිනයෙන් දකිනවා හැර කෙසේ දිවට ළං කරගන්නද?

එහෙත් වියළි අයිස්ක‍්‍රීම්, ජීවානුහරණය කළ වියලි ඉස්සන් කොක්ටේල්, දියරමය මිරිස් හා ලූණු ආදි සීමිත ආහාර වර්ග කිහිපයක් අභ්‍යවකාශ මෙනුවේ මෙතෙක් තිබුණා.

ඉදිරියේදී ඒ මෙනුව පුළුල් වීමේ ඉඩක් තිබෙනවා. ඒ නාසා ආයතනය මේ වන විට අභ්‍යවකාශයේ එළවළු වැවීමේ පර්යේෂණ ඉතා සාර්ථක මට්ටමට ගෙනැවිත් හමාර නිසා. නුදුරු අනාගතයේදී ගගනගාමීන් තමන්ගේ යානය තුළ වැවූ එළවළු එදිනෙදා ආහාරයට ගනීවි. එය නාසා ආයතනයේ ඉදිරි මෙහෙයුම්වලට වැදගත් වේවි.

නාසා ආයතනය 2024 දී සඳේ අඳුරු කලාපයට ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර සඳ මත පා තබන පළමු කාන්තාවද සිටිනවා. එය ඇපලෝ මෙහෙයුම්වලින් පසු මෑත කාලයේ වැඩිම ඈතකට මිනිසුන් යවන අවස්ථාව. එයින් පසුව ඉදිරියේදී සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඇති කිරීමේ බලාපොරොත්තුවක්ද තිබෙනවා. 2020 දශකය අවසානයේදී අඟහරු ලොවට මිනිසුන් රැුගත් යානා යැවීමට ලෝකයම බලාපොරොත්තු වෙනවා. ඒ නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ දිගු දුර අභ්‍යවකාශ මෙහෙයුම් සාර්ථක වෙන්නට නම් අභ්‍යවකාශයේ වගා කරන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම අඟහරු ලොවේ ජනාවාස බිහි කරන්නට නම් එය අත්‍යවශ්‍ය කාරණයක්.

 ඕනෑවට වඩා දීර්ඝ කාලයක් තිස්සේ පැකට් කරන ලද ආහාර තබාගැනීමෙන් එහි ප‍්‍රමිතිය, රසය හා පෝෂ්‍ය ගුණය අඩු වෙනවා. විටමින් ආදිය දුර්වල වෙනවා. ඒ අනුව ගගනගාමියෙකුට ප‍්‍රමාණවත් පෝෂණයක් ලැබේදැයි සහතික වශයෙන් කිව නොහැකියි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනයේ දැන් ජීවත්වෙන ගගනගාමීන්ට ආහාරයට ගන්නට සිදු වන්නේ කල් ගිය ආහාර. ඔවුන්ගේ බර අඩු වීම මේ වන විට නාසා ආයතනය විශේෂ අවධානයක් යොමු කර ඇති කාරණයක්.

අනෙක් අතට අභ්‍යවකාශයේ ජීවත්වෙන කෙනෙකුට ශාකයක් වැවෙන ආකාරය බලා සිටීම විශේෂ මානසික සහනයක්ද වනු ඇතැයි විද්‍යාඥයන් කියනවා. අභ්‍යවකාශයේ එළවළු වැවීමේ ව්‍යාපෘතිය විශේෂ වන්නට එයද හේතුවක්.

නාසා ආයතනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වවන ආහාර වර්ග පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර තක්කාලි සහ ලොකු මිරිස්ද තිබෙනවා. කෙසේ වෙතත් තවමත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ළිපක් දල්වා කෑම පිසින්නට බැහැ. ඒ නිසා අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු වර්ග වැවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. හෙට දිනයේ පෘථිවියෙන් පිට ජනාවාස ගැන සිහින දකින කෙනෙකුට එය අපූරු ප‍්‍රවෘත්තියක්.

  • අමිල රත්නායක