ඔබ දෙපළගේ ආයතනය ගැන කීවොත්..
රැන්ඩි: මම රැකියාවෙන් ඉවත් වෙලා 2017 දී තමයි නිදහස් නිර්මාණකරුවෙක් විදියට වැඩ කරන්න පටන්ගත්තේ. ඒ වෙනුවෙන් තමයි බිරිඳ සහ මම මේ ආයතනය පටන්ගත්තේ. දැන් අපට ගොඩක් වැඩ ලැබෙනවා. අපේ ආයතනයේ මම වීඩියෝ සජීවීකරණය කරනවා. බිරිඳ පෝෂියා පසුබිම් විස්තර සෙවීම සහ පිටපත් රචනය කරනවා.
පෝෂියා: මීට කලින් රැන්ඩි ජනප්‍රිය සිංදුවලට රසික නිර්මාණ විදියට වීඩියෝ හදලා තිබුණා. අපිට බාර දෙන වැඩකදී මම පසුබිම් විස්තර සෙවීම සහ තිර රචනය යම් දුරකට කරනවා. රැන්ඩි ඇනිමේෂන් වැඩ කරන නිසා, ඔහුට පසුබිම් විස්තර සෙවීම අමාරුයි. මම දෙන තිර රචනය උඩ ඔහු තමන්ට ඕනෑ දේවල් එකතු කරමින්, මා එක්ක කතා කරලා වෙනස්කම් කරමින් වැඩේ අවසන් කරනවා. මීට කලින් ‘රහත් හිමිවරුන්’ කියන වීඩියෝවත්, ඩිනෝ කොරේරා සහ ජෙහාන් බ්ලොක්ගේ ‘පුංචි දූපතේ කතාව’ කියන වීඩියෝවත් කළේ අපි දෙන්නා ඒ විදියට.

ඔබේ ආයතනයට වැඩිපුර ඉන්නේ දේශීය ගනුදෙනුකරුවන්ද?
පෝෂියා: රැන්ඩි රැකියාවෙන් අයින් වුණ මුල් කාලයේ වැඩිපුර ලැබුණේ ලංකාවේ සම්බන්ධකම් මත අපේ රටේ වැඩ. අවුරුදු දොළහක් වැඩ කළ නිසා ඔහුට ක්ෂේත්‍රයේ සම්බන්ධකම් තිබුණා. ශ්‍රී ලංකාවේ ඒජන්සිවලින් තමයි අපට වැඩ ලැබුණේ. ඒ අතරතුරේ රැන්ඩි ඔන්ලයින් රැප්වලට සම්බන්ධ වුණා. ඇමෙරිකාවේ යටිබිම්ගත රැප් ප්‍රජාව එක්ක රැන්ඩිට සම්බන්ධකම් හැදුණා. ඒ අනුව බි්‍රතාන්‍යයේ කෙනෙකුගේ වීඩියෝවක් කළා. ඇමෙරිකාවේ ගීත වීඩියෝ හදන සමාගමක වැඩ ටිකක් ආවා. 2018 දී විතර පිටරට වැඩ සීයට විසිපහක් සහ ලංකාවේ වැඩ සීයට හැත්තෑපහක් තිබුණේ. ඊට පස්සේ ලංකාවේ ඒජන්සිවලින් ගෙනා පිටරට වැඩ වැඩි වුණා. එමිනම්ගේ ‘ගොඩ්සිලා’ කියන සිංදුවට ඔහු වීඩියෝවක් හැදුවේ ඒ විදියට. ඒක මිලියන ගණනක් ලොව පුරා ප්‍රේක්ෂකයන් බැලුවා. ඒකෙන් පස්සේ විදෙස් ගනුදෙනුකරුවන් වැඩි වුණා. දැන් සීයට අනූවක් විදෙස් වැඩ කරනවා.

රසිකයෙක් විදියට එමිනම්ට කැමැත්තක් තිබුණාද?
රැන්ඩි: මම ඒ කාලයේ ඉඳන් එයාගේ ලොකු රසිකයෙක්. එයාගේ කතා කීමේ හැකියාව අතිවිශිෂ්ටයි. මම පොදුවේ රැප්, රොක් වගේ විවිධ ශානරවල සිංදු ඇහුවා. ඒ ඒ ශානරවල මම කැමති කලාකරුවන් ගොඩක් ඉන්නවා. ඒත්, පුංචි කාලයේ ඉඳන්ම මේ දක්වා එක වගේ ආසා කලාකරුවෙක් තමයි එමිනම්.
පෝෂියා: රැන්ඩි ළඟ එමිනම්ගේ පින්තූර, ඇඳුම් ගොඩක් තියෙනවා. එමිනම් සිංදුවකින් ලොකු කතාවක් කියනවා. එමිනම්ගේ කණ්ඩායම අපට මුලින් බාර දුන්නේ සිංදුවේ වචන විතරක් තියෙන (ලිරික්ස්) වීඩියෝවක්. ඒත්, අපි ඇහුවා, ‘ඒ වියදමෙන්ම ඊට එහා ගිය රූප සහිත වීඩියෝවක් කරනවා, කමක් නැද්ද’ කියලා. ඒකට එයාලා හා කීවා. එමිනම් අපට එව්වේ ගීයේ වචන ටික විතරයි. ඒකේ විශේෂ තැන්වලට තරු දාලා ඉස්මතු කරලා එව්වා. එයාට ඒ වචන තමයි වඩාත් වැදගත් වුණේ.

එමිනම්ගේ කණ්ඩායමෙන් මොන වගේ නිර්මාණ නිදහසක්ද ලැබුණේ..
රැන්ඩි: එමිනම්ගේ කලා අධ්‍යක්ෂ තමයි අපට කතා කළේ. එයාලා අපට නිර්මාණ නිදහස දුන්නා. මගේ බිරිඳ තමයි බොහෝ දුරට නිර්මාණශීලී පැත්ත බලන්නේ. ඇය මේ සිංදුවේ වචන ගැන ගූග්ල් එකෙන් හොයා බැලුවා. සිංදුවේ වචනවල හැම තැනම කැන්සල් කල්චර් එක ගැන නෑ. ඒත්, සමහර තැන්වල තියෙනවා. මේක කැන්සල් කල්චර් එකට උත්තරයක් විදියට තමයි මාධ්‍ය සහ රසිකයන් හඳුනාගත්තේ. අපි වීඩියෝව හදනකොට කැන්සල් කල්චර් එකට අදාළ ලිපිවල සිරස්තල කිහිපයක් එහෙම යෙදුවා. ඒ ගැන අවධානය එන විදියට.
පෝෂියා: අපි වැඩේ බාර දුන්නාට පස්සේ සමහර වෙළඳ නාම ආදිය එයාලා වෙනස් කරන්න යෝජනා කළා. ජැක් ඩැනියෙල්ස් විස්කිවල වෙළඳ නාමය වගේ. ඒවා අයින් කළා. එමිනම් හෙඩ්සෙට් එකක් දාගෙන ඉන්නවා. ඒකට අපි වෙළඳ නාමයක් දාලා තිබුණේ නෑ. ඒ වෙනුවට ඩොක්ටර් ඩ්‍රේගේ (එමිනම්ගේ ගුරුවරයා, සංගීත නිෂ්පාදකවරයෙක් සහ ගායකයෙක්) බීට්ස් කියන වෙළඳ නාමය ඒ හෙඩ්සෙට් එකට දාන්න කියලා ඉල්ලුවා.

වීඩියෝවේ රූපවල හැංගුණ සංකේත ආදිය ඇති..
රැන්ඩි: අපි එයාලාගෙන් ඉල්ලුවා ඊස්ටර් එග්ස් (වීඩියෝවක සඟවා ඇති තවත් කලාකෘතියක්, පුද්ගලයෙක් හෝ සිදුවීමක් සිහිපත් කරන රූප හා සංකේත) ලැයිස්තුවක්. එයාලා තිහකට වඩා එව්වා. අපිත් සමහර කරන රූප, සංකේත, යටි අරුතක් තියෙන දේවල් මේ වීඩියෝවට දැම්මා. ගීක්ලාට (තාක්ෂණයේ, කලාවේ විවිධ කරුණු සොයන, ඒවා ගැන උනන්දු පිරිස්) කැමැත්ත ඇති වෙන විදියේ දේවල් ගොඩක් අපි දැම්මා. දැනටමත් ප්‍රසිද්ධ යූටියුබ්කරුවන් ටෝන් ඩෙෆ් වීඩියෝවේ සැඟවුණ රූප හොයමින් වීඩියෝ දාලා තියෙනවා. මම ඒවා ආසාවෙන් බලනවා. ඒත්, එහෙම හොයපු අයටත් තවම අහු වුණේ නැති ඊස්ටර් එග්ස් තියෙනවා.

එමිනම්ගේම ගීතයක තියෙනවා ‘ඔබට එන්නේ එක අවස්ථාවයි ඒක අත්හරින්න එපා’ කියලා…
රැන්ඩි: අන්න හරි. අපට ආපු අවස්ථාව අපි අත්හැරියේ නෑ. වචන විතරක් තියෙන වීඩියෝවක් කළා නම් වැඩක් නැහැනේ. එයාලා අපෙන් ඉල්ලුවේ දවස් කිහිපයකින් කරන්න පුළුවන් විදියේ වීඩියෝවක්. අපට බජට් එක දුන්නේත් ඒ වෙනුවෙන්. අපි ඒත් ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා.
පෝෂියා: එයාලා මාර හොඳයි. අපි කළ වෙනස්කම්වලට වෙනම ගෙව්වා. අපි සාමාන්‍යයෙන් කළ වීඩියෝවක් වෙනස් කරන්නේ නෑ. ඒත් එයාලා ඉල්ලුව වෙළඳ නාම ඉවත් කිරීම ආදිය සාධාරණයිනේ. ඒ හැම වෙනස්කමකටම එයාලා වෙන වෙනම ගෙව්වා. ඒක අගය කරන්න ඕනෑ.

ජාත්‍යන්තර මාධ්‍ය මේක කැන්සල් කල්චර් එක පිළිතුරක් ලෙස හඳුනාගත්තාට, එමිනම්ගේ කණ්ඩායම ඒ විදිය ඔයාලාට විස්තර කළාද?
රැන්ඩි: එයාලා කැන්සල් කල්චර් එක ගැන කිව්වේ නෑ. මේ සිංදුව ඊට කලින් ආපු සිංදුවක්නේ. සිංදුව ගැන රිසර්ච් කරනකොට මේකෙන් කියැවෙන්නේ කැන්සල් කල්චර් එක ගැන බව අපි දැනගත්තා. සාමාන්‍යයෙන් සිංදුවක් ලැබුණාම ඒක ටිකක් අහනවා. ඒකෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා හිතනවා. ඊට පස්සේ ලෙහෙසියෙන් කරන්න පුළුවන්. ඒත්, ටෝන් ඩෙෆ් ඊට වඩා අමාරුයි. පද මාලාවෙන් තනි කතාවක් නෙවෙයි කියන්නේ. විවිධ දේවල් ගැන කතා කරනවා.

එමිනම්ගේ ගීතවල හිංසනය තියෙනවා කියමින් ඔහුට විරුද්ධව හැදුණ රැල්ල ගැන දැනගෙන හිටියාද?
පෝෂියා: අපට වීඩියෝවේ වැඩේ බාරදුන්නේ පහුගිය සතිවල මතු වූ ‘කැන්සල් එමිනම්’ රැල්ලට කලින්. රිහානාගේ සහ එමිනම්ගේ ‘ලව් ද වේ යූ ලයි’ සිංදුවේ වචන මතු කරමින් තමයි පහුගිය සතිවල ‘කැන්සල් එමිනම්’ රැල්ලක් ආවේ. අපට වැඩේ බාර දෙනකොට එමිනම්ට තිබුණා තවත් රැප් ගායකයෙක් වන ස්නූප් ඩොග් එක්ක පුංචි අමනාපකමක්. එමිනම් සුදු ජාතිකයෙක්. ඒ නිසා ඔහුට මුල ඉඳන්ම රැප් සංස්කෘතිය ඇතුළේ ගැටලු තිබුණා. එක වෙලාවක ස්නූප් ඩොග් කියා තිබුණා තමන්ට අනුව එමිනම් හොඳම රැප් ගායකයන් දහය අතරවත් නෑ කියලා. ස්නූප් විශ්වාස කරන හිප්හොප් කලාවට එමිනම් නැතිව පවතින්න පුළුවන් කියලා. එමිනම් ඒ විදියට කොන් වීමේ වටපිටාව මේ නිර්මාණයට කලින් ඉඳලා තිබුණා.

ඒත්, සිංදුවේ වචනවල එමිනම් කැන්සල් කල්චර් ගැන කියනවා නේද?
පෝෂියා: ඔව්, කාලෙක පටන්ම එමිනම් සහ ඔහුගේ කලාව අහෝසි කරන කතාවක් තිබුණා. එයා ඒ ඔක්කොම එකතු කරලා තමයි මේ සිංදුව ලියා තිබුණේ. එමිනම් කියන්නේ මම මේ වගේ කෙනෙක්, මගේ හැටි මේ විදියයි, ඔයාලා කියන දේ මට වැඩකුත් නෑ, මම මගේ ගමන යනවා කියලා. මේ වීඩියෝව තව ටිකක් පරක්කුවෙලා එළියට දාන්න තමයි හිටියේ. ඒත්, සමාජ මාධ්‍ය රැල්ලක් ආපු නිසා ඒ රැල්ලට උත්තරයක් විදියට ඉක්මනින් වීඩියෝව ප්‍රසිද්ධ කළා. කොහොම නමුත්, මේ වීඩියෝව සමාජ මාධ්‍ය රැල්ලට උත්තර දෙන්නම හැදූ එකක් බව විග්‍රහ කරන්න බෑ.
රැන්ඩි: ඒත් පොදුවේ එමිනම් ඔය කිසිදෙයක් ගණන් ගන්නේ නෑ කියන ස්වරය, පණිවිඩය මේ සිංදුවේ තියෙනවා. ඒ නිසා සමාජ මාධ්‍යවල හැදුණ රැල්ලට හොඳ උත්තරයක් විදියට මේ සිංදුව මතු වුණා. අපේ මුල් අවධානයක් යොමු වුණ ස්නූප්ගේ කතාව ඒ තරම් මතු වුණේ නෑ. ස්නූප් සහ එමිනම් ඒ කාලේ ඉඳන් එකට වැඩ කරලා තියෙනවා. දෙන්නාම ඩොක්ටර් ඩ්‍රේ (හිප්හොප් සංගීත නිෂ්පාදකවරයෙක් සහ ගායන ශිල්පියෙක්) එක්ක වැඩ කරපු අය. දෙන්නාගේ යාළුකමක් තියෙනවා. අපි ටෝන් ඩෙෆ් වීඩියෝවේ ස්නූප් ඩොග් ඉලක්ක වුණ සමහර රූප දාලා තිබුණා. ග්‍රැෆිටි වගේ ඒවා. ඒත්, එයාලා ගලවන්න කියලා කිව්වා. අපි මේ වීඩියෝව හැදුවේ එමිනම්, ස්නූප් අතර විරසකය හොඳට මතු වෙලා තිබුණ කාලයේ හින්දා අපේ වැඩි අවධානයක් ඒකට යොමු වුණා. මේක පුංචි හිත් රිදවීමක් කලාවෙන් පිට කර ගත් අවස්ථාවක් විතරයි. කොහොම නමුත් කැන්සල් කල්චර් එක ඉස්සර ඉඳලාම තිබුණ දෙයක්. ඒක සමාජ මාධ්‍යවලින් තවත් බලවත් වෙලා තියෙනවා. මේ වීඩියෝව ආවාට පස්සේ කැන්සල් කල්චර් සහ එමිනම් ගැන ගොඩක් මීම්ස් හැදුණා. සෝෂල් මීඩියා සංවාද හැදුණා.

එමිනම්ගේ ගීතවල තියෙන්නේ එමිනම් කියන චරිතයේ අදහස්. ඒ චරිතය පසුපස ඉන්න මාෂල් මැතර්ස් කියන සැබෑ පුද්ගලයාගේ අදහස් නෙවෙයි..
පෝෂියා: ඒක හරි. සිංහල ගීත පවා එහෙමනේ. විරහ ගීත තියෙනවා, ආදර ගීත තියෙනවා. දේශපාලනිකව නිවැරදි විදියට හැමදේම කරන්න ගියොත්, කලාව සාමාන්‍ය විදියට ඉස්මතු වෙන්නේ නෑ. කෘත්‍රිම එකක් වෙනවා. ඒත් අලුත්ම පරම්පරාව කලාව ගැන සැහැල්ලුවෙන් බලන්නේ නෑ. එයාලා දේවල් දකින්නේ තමන්ගේ කාචයෙන්. උදාහරණයක් විදියට සමහර තරුණ අය හිතන්නේ රැකියාවට ගිය ගමන් රුපියල් ලක්ෂයක විතර පඩියක් ලැබෙන්න ඕනෑ කියලා. විනයක් ඇතිව, අමාරුවෙන් වැඩ කරලා ඉහළට යන හැටි හිතන්නේ නෑ. ඒ වගේම වැරදීම් වෙන්න පුළුවන් බව ඔවුන් දකින්නේ නෑ. පුංචි කාලයේ ඉඳන් ඔවුන් හොඳ විතරයි බලාපොරොත්තු වෙන්නේ. සමහරවිට මාපියන් ඔවුන් හදන්නේ හොඳ විතරක් පෙනෙන විදියට. එයාලා ඇත්ත ලෝකයට එන්නේ වෙනස් අදහස් දරාගන්න බැරි විදියට. ඒ වගේම තමන් පිළි නොගන්නා දේවල් සම්පූර්ණයෙන් අහෝසි කරන්න එයාලා උත්සාහ කරනවා.
රැන්ඩි: එමිනම් මීට කලිනුත් කැන්සල් කල්චර් එක ගැන කතා කරලා තියෙනවා, සිනමාවේ හිංසනය පෙන්වනවා වගේ තමයි, එයාත් කරන්නේ කලාකෘතියක්. සමාජයට කලාව සහ පුද්ගලයා වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. අපටත් දුවලා ඉන්නවා. ඒත්, එමිනම්ගේ වචන ඒ විදියට සලකන්නේ නෑ. යම් සිංදුවක් අහන්න අකැමති නම් අපට ඒක අහන්නේ නැතිව ඉන්න පුළුවන්.■

 

කැන්සල් කල්චර් සහ ටෝන් ඩෙෆ්

පසුගිය දශක දෙකේ ලොව ජනප්‍රියම සංගීත ශෛලිය රැප්/ හිප්හොප් සංගීතය වේ. ඒ දශක දෙකේ ලොව ජනප්‍රියම හිප්හොප් තරුව අමෙරිකානු ජාතික එමිනම්ය. කලා ලොව තරුවකට යා හැකි උපරිම ඉහළ තැන එමිනම් සිටී. එමිනම්ගේ ගීයක වචන ඇසුරෙන්ම කීවොත් ඔහු සියුස් දෙවියන් මෙන් වළාකුළු අතර සිටින තරුවකි.
එමිනම් මාර්තු 06 වැනිදා එළිදැක්වූ ‘ටෝන් ඩෙෆ්’ ගීයේ සංගීත වීඩියෝව කළේ අපේ රටේදීය. ඒ රැන්ඩි ක්‍රිස්ගේ සහ පෝෂියා රත්නායකගේ මරාකි යුනයිටඩ් ආයතනයෙනි.
‘කැන්සල් කල්චර්’ මෑත කාලයේ හොලිවුඩයේ විශාල කතාබහකට ලක් වූ ප්‍රවණතාවකි. අහවල් කලාකරුවා ‘කැන්සල් කරන’ ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය පෝස්ට් දමමින් විශාල සංවාදයක් ඇති කිරීම කැන්සල් කල්චර්හි ලක්ෂණය වේ.
එමිනම්ගේ ගීතවල හිංසනය, වෛරී වචන, කාන්තා විරෝධී, සුළුතර ලිංගික ප්‍රජාවන්ට අපහාස වචන තිබෙන නිසා, එමිනම් කැන්සල් කළ යුතු බව හෙවත් එමිනම් අහෝසි කළ යුතු බව සමාජ මාධ්‍යවල ප්‍රවණතාවක් ඉස්මතු විය.
කැන්සල් කල්චර් එකේදී යෝජනා කරන අහෝසි කිරීම විවිධාකාරයෙන් කළ හැක. රැකියාව නැති කිරීම, විවිධාකාර නම්බු නාම හා සම්මාන ඉවත් කිරීම, කලාකරුවෙකුගේ නම් කලා නිර්මාණ ප්‍රතික්ෂේප කිරීම සරල උදාහරණ වේ.
බොහෝ කලාකරුවෝ ‘කැන්සල් කල්චර්’ ප්‍රවණතාවට බියක් දක්වති. තමන්ගේම නිර්මාණ සමාජ මාධ්‍යවලින් විරෝධයක් එල්ල නොවෙන හැටියට ස්වයං වාරණයකට ලක් කර ගනිති. ටෝන් ඩෙෆ් ගීයෙන් එමිනම් ඒ ප්‍රවණතාවට අභියෝග කළේය.■